Rootගේ ඉතිහාසගත ටෙස්ට් තරගයේ දී ඉන්දියාවට අමතක නොවන පාඩමක්

එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2021

232

Anthony de Mello ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 227කින් ජය ගැනීමට එංගලන්තය අද (9) සමත් වුනා. එංගලන්ත කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජය ගත්තේ 2012 වසරට පසුවයි.

මේ ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ තරග හතරකින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට Joe Rootගේ නායකත්වයෙන් යුත් එංගලන්තය සමත් වුනා.

චෙන්නායි හි Chidambaram ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 578ක් ලබා ගත්තා. එහි දී නායක Root ශ්‍රී ලංකාවට එරෙහිව පෙන්නුම් කළ සුපිරි දස්කම් මේ තරගය තුලත් පෙන්නුවේ ලකුණු 218ක් ලබාගෙනයි. එය Rootගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා වුනු 5 වැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි. 

ඒ වගේම තමාගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තුල ද්විත්ව ශතකයක් ලබා ගත් ලොව පළමු සහ එකම පිතිකරුවා ද වන්නේ ඔහුයි. මේ ඉනිමට 4 පහර 19ක් සහ 6 පහර දෙකක් ඇතුළත් වුනා. 

ඊට අමතරව Ben Stokes සහ Dom Sibley පිළිවෙළින් ලකුණු 82ක් සහ ලකුණු 87ක් ලබාගෙන දස්කම් පෙන්නුවා. පන්දු යැවීමේ දී Jasprit Bumrah සහ Ravichandran Ashwin අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

එයට පිළිතුරු ලබා දුන් ඉන්දියාවට සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 337ක් පමණි. එහි දී යොවුන් කඩුලු රකින පිතිකරු Rishabh Pant වේගවත් ලකුණු 91ක් ගනිමින් ඉන්දීය පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන Washington Sundar (ලකුණු 85) සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගත්තා. ඊට අමතරව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ Cheteshwar Pujara 4 පහර 11ක් එල්ල කරමින් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා.

මුල් ඉනිමේ දී ලකුණු 241 ක වාසියක් තිබියදීත් නැවත වරක් පිති අතට ගත් එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 178කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 420ක ඉලක්කයක් නිර්මාණය කරමිනි. 

එම ඉනිමේ දී ද එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වුණේ ලකුණු 40ක් ලබා ගත් Root ය. කෙසේ නමුත් මේ තණතීරුව මත ලකුණු 420ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජය ගැනීම හෝ තරගය පරාජය නොවී බේරීම ලෙහෙසි පහසු දෙයක් නොවුනේ පන්දුවේ දඟ කැවීම ඉතාමත් උපරිම මට්ටමට පැමිණ තිබීම නිසයි.

එංගලන්ත දෙවන ඉනිම ලකුණු 178කට සීමා කිරීමේ දී ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin ලකුණු 61කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ වාර්තා වුනු හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළා.

ඉන්දීය පිතිකරුවන් ඔවුන්ගේ දෙවන ඉනිම සඳහා පළමු කඩුලු 3 දැවී ලකුණු 92ක් වාර්තා කරගත්තා. එහි දී යොවුන් පිතිකරු Shubman Gill සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි අර්ධ ශතකය ලබා ගත්තා. නමුත් Anderson ක්‍රියාත්මක කළ ඉන්දීය දෙවන ඉනිමේ 27 වැනි පන්දුවාරයේ දී ඉන්දීය ලකුණු සටහන කණපිට ගැසුණ් එකම පන්දුවාරයක් තුල කඩුලු 2ක් (Shubman Gill සහ Ajinkya Rahane) බිඳ වැටුණු නිසයි.

එතැන් සිටි එංගලන්තය තරගය පිළිබඳව දැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන ආකාරයක් පෙනුණු නමුත් ඉන්දීය නායක Virat Kohli (ලකුණු 72) ඔවුන්ගේ ජයග්‍රහණය තරමක් පමා කළා. අවසානයේ දී Jack Leach ඇතුළු එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය දෙවන ඉනිම ලකුණු 192කට සීමා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ඉතිහාසගත සහ ලෙහෙසි පහසු නොවන ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළා.

එංගලන්තය වෙනුවෙන් තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ Jack Leach පළමු ඉනිමේ කඩුලු 2ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතරව James Anderson සහ Dom Bess කඩුලු 5 බැගින් දවා ගත්තා.

එංගලන්ත පළමු ඉනිම – 578 (190.1): Joe Root 218, Dom Sibley 87, Ben Stokes 82, Jasprit Bumrah 3/84, Ravichandran Ashwin 3146.

ඉන්දීය පළමු ඉනිම – 337 (95.5): Rishabh Pant 91, Washington Sundar 85, Cheteshwar Pujara 73, Dom Bess 4/76.

එංගලන්ත දෙවැනි ඉනිම – 178 (46.3): Joe Root 40, Ravichandran Ashwin 6/61.

ඉන්දීය දෙවැනි ඉනිම – 192 (58.1): Virat Kohli 72, Shubman Gill 50, Jack Leach 4/76, James Anderson 3/17.

තරගයේ වීරයා – Joe Root (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 13 වැනිදා මේ ක්‍රිකට් පිටියේ දීම ආරම්භ වෙනවා. එසේම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාව මේ තරගාවලියේ තරග දෙකක් අවම ලෙස (2-1) ජය ගත යුතු නිසාවෙන් තරගාවලිය ඉතාමත් උණුසුම් සහ තියුණු තරගාවලියක් වනු නිසැකයි.

තරගයට පසුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන මෙසේ දැක්වුනා,>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<