මිකී ආතර්ගේ ගිවිසුම දීර්ඝ නොකරන ලකුණු

1609

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතාගේ නිල ධූර කාලය 2021 ලෝක කුසලාන T20  තරගාවලිය අවසන් වීමත් සමඟ නිමා වෙනවා. කෙසේ නමුත් එංගලන්ත පුවත්පතක් වන Daily Mail පවසන පරිදි මිකීගේ ගිවිසුම තවදුරටත් දීර්ඝ නොවීමට වැඩි ඉඩක් තිබෙනවා.

53 හැවිරිදි මිකීගේ ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීර්ඝ නොකරන්නේ නම්, ඔහු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු තනතුර ලබා ගැනීම සඳහා සූදානමින් සිටින බව එම පුවත්පත වාර්තා කර සිටිනවා.

මේ මස 21 වැනිදා ආරම්භ වන කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඇතුළත් වන ටෙස්ට් තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කවුරුන් ද යන්න ගැටලුවක් වෙනු ඇත.

නමුත් එම සංචාරය සඳහා පමණක් වැඩබලන පුහුණුකරුවෙක් ලෙස මිකීව රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට ද ඉඩක් තිබෙනවා.

මිකී ආතර් ජාත්‍යන්තර පුහුණුකරුවෙක් ලෙස වසර 16ක අත්දැකීම් ලබාගෙන තිබෙන අතර ඔහු ජාත්‍යන්තර කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කළ සිව්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔහු දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

2019 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩභාරගත් මිකීගේ ගිවිසුම වසර දෙකක් සඳහා නියමිත වූවක්. ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකාව දැනට විස්සයි විස්ස තරග 24කට ක්‍රීඩා කර ජයග්‍රහණ 7ක් ලබාගෙන තිබෙනවා. තවද එක්දින තරග 18කින් තරග 7ක් සහ ටෙස්ට් තරගාවලි 5කින් තරග දෙකක් පමණක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඊට අමතරව පිතිකරණ පුහුණුකරු Grant Flower සහ පන්දු රැකීමේ පුහුණුකරු Shane McDermottගේ කොන්ත්‍රාත්ගත ගිවිසුම් ද තවදුරටත් දීර්ඝ නොවීමට වැඩි ඉඩක් තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<