LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

424

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානයෙන් යුතුව දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2021 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීම (Player draft) නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් පහේ හිමිකරුවන්, පුහුණුකරුවන්, හෝ කණ්ඩායම් හිමිකාරිත්වය විසින් නම් කරනු ලබන පිරිසක් විසින් එම ක්‍රීඩක තෝරා ගැනීම සිදු කරනු ඇත.

ඒ අනුව මෙවර තරගාවලියේ විදේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු වශයෙන් සමස්ත ක්‍රීඩකයින් 600 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

මෙය ඉකුත් වසර හා සංසන්දනය කරන විට ක්‍රීඩකයින් 165 දෙනෙකුගේ වැඩිවීමකි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරිත්වයට හිමි වන බැවින් කණ්ඩායම තේරීම වට 20කින් සමන්විත වනු ඇත.

මෙවර තරගාවලියේ දී ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම ප්‍රධාන කාණ්ඩ 6ක් යටතේ සිදු කෙරෙනු ඇත. එහි ප්‍රධානම කාණ්ඩය වන්නේ සන්නාම (Icon Player) ක්‍රීඩකයාගේ කාණ්ඩය වේ. ඒ යටතේ විදෙස් ක්‍රීඩකයකුට සහ දේශීය ක්‍රීඩකයකුට (Local and Overseas) අවස්ථාව හිමි වේ.

සෙසු ප්‍රධාන කාණ්ඩ වන්නේ ඩයමන්ඩ් (Diamond Player), ගෝල්ඩ් (Gold Player) සහ ක්ලැසික් (Classic Player) යන කාණ්ඩ වන අතර ඒ සෑම කාණ්ඩයක් යටතේම දේශීය ක්‍රීඩකයකු සහ විදේශීය ක්‍රීඩකයකු එක්කර ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරිත්වයට හිමිවනු ඇත.

ඊට අමතරව මෙරට දේශීය තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා තෝරා ගැනීම වෙනුවෙන් දේශීය නැගීඑන (Local Emerging) සහ දේශීය පරිපූරක (Supplementary Local) වශයෙන් තවත් කාණ්ඩ දෙකක් මෙවර ක්‍රීඩක කෙටුම්පතට එක් කර තිබේ.

ඒ අනුව කණ්ඩායමකට ඇතුළත් වන ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් ද, හය දෙනෙකු විදේශීය ක්‍රීඩකයින් ද විය යුතුය. කිසියම් කණ්ඩායමකට පෙර වසරේ සංචිතයේ පසු වූ ක්‍රීඩකයින් රඳවා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ක්‍රීඩකයින් 8 දෙනෙකු

රඳවා ගැනීමේ අවස්ථාව හිමි වන අතර ඉතිරිය ක්‍රීඩක කෙටුම්පත් කිරීම හරහා තෝරා ගත යුතු වේ.

දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලියේ මූලික වටයේ තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වෙනු ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<