ආරම්භක දිනයේ දී ම මොරටුවෙන් ශතක දෙකක්

369

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා දෙසැම්බර් නිවාඩු සමය හේතුවෙන් මසක පමණ නිහැඬියාවකින් අනතුරුව යළිත් ආරම්භ වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවති තරගවල දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ අවිඳු ප්‍රනාන්දු (151*) හා සඳුන් ප්‍රනාන්දු (113*) ශතක වාර්තා කර ගනිමින් දස්කම් දක්වන ලදි.  

ලබන වසරේ පාසල් ක්‍රිකට් තරගාවලියට පෙර

2017/18 වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග මේ දක්වා නවතා තිබුණේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා දෙසැම්බර් නිවාඩු සමය හේතුවෙනි.

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය හා පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

පළමු දිනය සඳහා තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලබා ගෙන සිටියි.

දකුණතින් පිත්ත හසුරුවන අවිඳු ප්‍රනාන්දු හා සඳුන් ප්‍රනාන්දු කාසියේ වාසිය දිනාගෙන පිතිකරණයේ යෙදෙමින් සත්කාරක වේල්ස් කුමාර විද්‍යාලයේ පළමු ඉනිම දැවැන්ත ලකුණකට ගෙන යාමට ශතක දෙකකින් දායකත්වය ලබා දෙන ලදි. එහි දී අවිඳු නොදැවී ලකුණු 151*ක් රැස් කර ගත් අතර ඔහුට සහය වූ සඳුන් නොදැවී ලකුණු 113* වාර්තා කළේය.

ඊට අමතරව විශ්ව චතුරංග ලකුණ 70යි. පන්දු යැවීමේ දී කඩුලු 2ක් දවා ගැනීමට සුමුදු උදාරට හැකි විය. කඩුලු දෙකක් දැවී ලකුණු 350ක් ලබා සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවීමට වේල්ස් කුමරුවන් තීරණය කළේ තරගයෙන් පූර්ණ ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

වේල්ස් කුමාර විද්‍යාලය පළමු ඉනිම – 350/2d (62): අවිඳු ප්‍රනාන්දු 151*, සඳුන් ප්‍රනාන්දු 113*, විශ්ව චතුරංග 70, සුමුදු උදාර 2/84.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 53/4 (36): සවිදු පිරිස් 2/12, කෞමල් නානායක්කාර 2/25.

ලෝක කුසලාන සංචිතයේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩකයෙකුට

නවසිලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ  නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක නාලන්ද විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන්, දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක සේනාධීර අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. මීට අමතරව හසින්ත ජයසූරිය හා පූර්ණ වනසේකර පිළිවෙළින් ලකුණු 43ක් හා ලකුණු 31ක් ලබාගෙන ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම ලකුණු 227ක් දක්වා ඔසවා තබන ලදි.

පන්දු යැවීමේ දී නාලන්ද විද්‍යාලය වෙනුවෙන් ලකුණු 55ක් තුල කඩුලු 4ක් දවා ගැනීමට රවීන් ද සිල්වා සමත් විය.

රවිඳු ද සිල්වාගේ නොදැවුණු අර්ධ ශතකයත් සමඟින් නාලන්ද විදුහලේ පළමු ඉනිම අද දිනය සඳහා තරග නවතා දමන විට කඩුලු 3ක් දැවී ලකුණු 127ක් ලෙස දැක්විය විය. නාලන්ද විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 100ක් පසු පසින් සිටියි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 227/10 (63.2): අවිශ්ක සේනාධීර 69, හසින්ත ජයසූරිය 43, පූර්ණ වනසේකර 31, රවින් ද සිල්වා 4/55.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 127/3 (31): රවිඳු ද සිල්වා 50*


ගාල්ල මහින්ද විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සත්කාරක මහින්ද විද්‍යාලය, සහිරා ක්‍රීඩකයින් හට පළමුව පිතිකරණයේ නිරත වීමට ආරාධනා කළේය.

සහිරා විද්‍යාලයේ මුල් කඩුලු කිහිපය ඉක්මනින්ම දවා ගැනීමට නවෝද් පරණවිතාන ප්‍රමුඛ මහින්ද විදුහල් ක්‍රීඩකයින්ට හැකි විය.

නමුත් මැදපෙළ සවිමත් කිරීමේ අරමුණින් පිටියට පිවිසි මොහොමඩ් ශමාස් ලකුණු 47ක් ලබා ගෙන සහිරාවන්ට යම් ජීවයක් ගෙනෙන ලදි. නමුත් ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගිය පසුව සහිරා ඉනිම ගොඩනැංවීමට වෙනත් පිතිකරුවෙකුට නොහැකි විය. පන්දු යැවීමේ දී නවෝද්, කේ. කේ. කෙවින් හා පසන් පෙතනගොඩ අතරේ කඩුලු 3 බැගින් සමව බෙදී යන ලදි.

ලකුණු 108ක පළමු ඉනිමේ අභියෝගයක් සහිතව සිය ඉනිම ආරම්භ කළ මහින්ද විද්‍යාලය වෙනුවෙන්, ලකුණු 59ක් ලබා ගැනීමට හංසික වැලිහිඳ සමත් වුවත් ඔහු දිනය නිමා වීමට මොහොතක් ඉතිරිව තිබිය දී දැවී ගියේය. අශේන් කණ්ඩම්බි හා චමෝද් පරණවිතාන පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 34ක් ලබා ගැනීමට සමත් විය. පළමු දිනය නිමා වන විට සහිරා පළමු ඉනිමට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් සිටීමට මහින්ද විද්‍යාලය සමත්ව සිටින්නේ පළමු ඉනිමේ ජය ද තහවුරු කරගෙනයි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 108/10 (35): මොහොමඩ් ශමාස් 47, නවෝද් පරණවිතාන 3/07, කේ.කේ. කෙවින් 3/18, පසන් පෙතනගොඩ  3/39.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 180/5 (54): හංසික වැලිහිඳ 59, අශේන් කණ්ඩම්බි 39, චමෝද් පරණවිතාන 34.  

මෙම තරග සියල්ල හෙට (28) දෙවන දිනටත් පැවැත්වෙන අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය හෙට උදෑසන 9.15 සිට සජීව ලෙස විකාශනය කිරීමට ThePapare.com සූදානම්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න