කොළඹ LPL කණ්ඩායමට නව හිමිකරුවෙක්!

806
(SLC Media)

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය 27th Investments ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හා සභාපති Anil Damani හට හිමිව තිබෙනවා.

27th Investments ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ආයෝජන ආයතනයක් වන අතර ඔවුන් වාණිජ ඉඩම් මිල දී ගන්නා ආයතන, අවන්හල් හා විනෝදාත්මක සේවා සපයන ප්‍රකට ආයතන රැසකටම සිය සේවය ලබා දෙනවා.

කොළඹ කණ්ඩායමේ හිමිකරුවා ලෙස ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙන්නට ලැබීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. පළමු අදියරේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ දියුණුවක් පෙන්වූවා. ඒ නිසා මේ සන්ධිස්ථානයේ දී මෙම තරගාවලිය සමඟ එක්වීමට ලැබීම ගැන මම සතුටුයි. මම බලාපොරොත්තු වෙනවා කොළඹ කණ්ඩායම ලොව හොඳම විස්සයි විස්ස කණ්ඩායමක් බවට පත් කරන්න”,  යැයි Anil Damani පවසා තිබෙනවා.

LPL තරගාවලියේ මංගල අදියර පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. රූපවාහිනී, අන්තර්ජාල සේවා හා සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ තරගාවලිය මිලියන 557ක් ප්‍රේක්ෂකයින් කරා ළඟා වී තිබෙන බව තරගාවලි සංවිධායකයින් වන IPG ආයතනය පවසා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තරගාවලි සංවිධායකයින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරින්

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<