අශෝභන හැසිරීම නිසා දිල්ලිට වැඩ වැරදියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

5251

Delhi Capitals කණ්ඩායමේ නායක Rishabh Pant සහ කණ්ඩායමේ සහාය පුහුණුකරු Pravin Amre හට ඔවුන්ගේ තරග මුදලින් 100%ක දඩයක් සහ Shardul Thakur හට ඔහුගේ තරග මුදලින් 50%ක දඩයක් පැනවීමට IPL තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ Rajasthan Royals කණ්ඩායමට එරෙහිව ඊයේ (22) පැවති තරගයේ දී IPL තරගාවලියේ ක්‍රීඩක කොන්දේසි කඩකරමින් හැසිරීම නිසයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Jos Buttler වාර්තා කළ තෙවැනි ශතකය හේතුවෙන් තරගාවලියේ 34 වැනි තරගයෙන් Delhi Capitals කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගැනීමට ද Rajasthan Royals කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. ඔවුන් මේ වන විට තරග 7කට ක්‍රීඩා කර ඉන් තරග 5ක් ජය ගනිමින් රැස් කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ Delhi Capitals ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කරගනිමින්. ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 222ක් ලෙස සටහන් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි. නායක Rishabh Pant ලකුණු 44 (24)ක් රැස් කළ අතර, Prithvi Shaw සහ Lalit Yadav ලකුණු 37 බැගින් රැස් කරගත්තා.

තරගයේ අවසන් පන්දුවාර දෙක තුළ තරගය ජය ගැනීම සඳහා Delhi Capitals කණ්ඩායමට ලකුණු 36ක් අවශ්‍ය වුනා. කෙසේ වෙතත් 19 වැනි පන්දුවාරය යොමු කළ Prasidh Krishna එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දවා ගනිමින් නිලකුණු පන්දුවාරයක් සටහන් කිරීමට සමත් වීම කැපී පෙනුනා.

Obed McCoy යොමු කළ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා Delhi Capitals කණ්ඩායමට ලකුණු 36ක් රැස් කරගැනීමට අවශ්‍ය වුනා. එම පන්දුවාරයේ පළමු පන්දු 3ටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු යළි Capitals කණ්ඩායමට ගෙන ඒමට Rovman Powell සමත් වුනා.

අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුව තණතීරුවේ පතිත නොවී පිතිකරුවාගේ ඉණ ආසන්නයටම පැමිණි අතර එම පන්දුව නිපන්දුවක් විය යුතු බවයි Delhi Capitals ක්‍රීඩකයින්ගේ මතය වුනේ. කෙසේ වෙතත් එය නිපන්දුවක් නොවන බව විනිසුරුගේ තීරණය වුනා.

එම අවස්ථාවේ දී Delhi Capitals නායක Rishabh Pant ඇතුළු ක්‍රීඩකයින්ගේ සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දැඩි විරෝධයක් විනිසුරුවන්ට එල්ල වූ අතර Pant විසින් පිතිකරුවන් දෙදෙනා යළි ක්‍රීඩාගාරයට කැඳවීමට උත්සාහ ගන්නා ආකාරයක් ද දක්නට ලැබුනා.

කෙසේ වෙතත් අවසානයේ සියලු පාර්ශවවල එකඟතාවය අනුව තරගය අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කෙරුනා. එම සිදුවීමෙන් පසුව යොමු කෙරුනු අවසන් පන්දු තුනේ දී Powellට වාර්තා කරගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<