විශ්මිගෙන් විශ්මයජනක ඉනිමක්

19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

3997

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටය ඊයේ (21) ආරම්භ වුනා.

එහි දී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය නියෝජනය කරන විශ්මි ගුණරත්න විසින් විස්මයජනක ඉනිමක් ක්‍රීඩා කරමින් කැකිරාව ජයසිරිපුර මහා විද්‍යාලයට එරෙහිව පන්දු 128කින් නොදැවී ලකුණු 417*ක් ලබා ගත් අතර එම ඉනිම අලංකාර හයේ පහර 29කින් ද හතරේ පහර 49කින් වර්ණවත් වුනා.

ගොඩිගමුව ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව රත්නාවලී බාලිකාවන් නියමිත පන්දුවාර 30 අවසානයේ කඩුලු 2ක් දැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 567ක්.

එහි දී විශ්මි සහ සඳලි වීරසිංහ දෙවැනි කඩුල්ලට ලකුණු 352ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ අතර සඳලි විසින් පන්දු 38ක දී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුනා.

ලකුණු 568ක දැවැන්ත අසීරු ඉලක්කයක් හඹා ගිය ජයසිරිපුර විද්‍යාලයේ සියලුම ක්‍රීඩිකාවන් ලකුණු 35කට දැවී ගිය අතර පන්දු යැවීමේ දී උමායා රත්නායක ලකුණු 11කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

මෙවර 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග 5කට සහභාගි වී තිබෙන විශ්මි ලකුණු 688ක් ලබාගෙන සිටින අතර ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 02ක් ඇතුළත්. ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 344ක් වැනි ඉහළ මට්ටමක පසුවෙනවා. තවමත් වයස අවුරුදු 16ක් වන විශ්මි ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 4කට ක්‍රීඩා කර තිබෙනවා.

මීට අමතරව විශ්මි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රධානතම කාන්තා එක්දින තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් තරග 6කට සහභාගි වෙමින් ලකුණු 213ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට ද පත්වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<