Blue Star ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

AFC කුසලානය 2022

305

ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ‘AFC කුසලානය 2022’ තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග ආරම්භ කරමින් අද (05) පැවති තරගයෙන් Machhindra FC ක්‍රීඩකයින් පරදවා ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Blue Star FC ක්‍රීඩකයන් සමත් වුනා.

ශ්‍රී ලංකාව තුළ පැවති පළමු වෘත්තීය පාපන්දු ලීගය වන ‘සුපර් ලීග් තරගාවලිය’ ජය ගනිමින් මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට Blue Star FC ක්‍රීඩකයින්ට හැකි වූ අතර මෙම තරගය පැවැත්වුණේ නේපාලයේ කත්මන්ඩු නුවර දීයි.

තරමක් නුහුරු කාලගුණයක් යටතේ වුවත් තරග ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට Blue Star ක්‍රීඩකයින්ට හැකි වූ නමුත්, 14 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට Blue Star විදෙස් ක්‍රීඩක ජෙරීට නොහැකි වුනා.

නමුත් 24 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ෆසාල් අලංකාර පන්දු යොමු කිරීමක් මගින් ලබා දුන් පන්දුවක් සාර්ථකව දැල වෙත ස්ථානගත කරමින් පළමු ගෝලය රැස් කිරීමට Blue Star ක්‍රීඩක Mohamed Ihsanට හැකි වුනා.

එම ගෝලය වාර්තා කිරීමෙන් කෙටි වේලාවකට පසු එනම් 27 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Blue Star ක්‍රීඩක ශෙනාල් සංදේශ් අලංකාර පහරක් මගින් පන්දුව ගෝලය තුළට යොමු කරමින් දෙවැනි ගෝලය රැස් කළා.

එම අර්ධය තුළ ගෝල වාර්තා කරගැනීමට අවස්ථා කිහිපයක්ම Machhindra FCට හිමි වූවත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ.

පළමු අර්ධයට වඩා ආක්‍රමණශීලීව දෙවැනි අර්ධය ආරම්භ කළ Machhindra ක්‍රීඩකයින් හට ගෝලයක් රැස් කිරීමට තිබූ ඉතාම ආසන්න අවස්ථාවක් වළක්වාලීමට Blue Star පසුපෙළ ක්‍රීඩක තරිඳු එරංගට හැකි වුනා.

තරගයේ අවසන් අතිරේක කාලයේ දී දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් තම කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කිරීමට Machhindra නායක Sujalට හැකි වූවත් තරගයේ වෙනසක් සිදු කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Machhindra FC 1 – 2 Blue Star FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

Blue Star FC – Mohamed Ihsan 24’, ශෙනාල් සංදේශ් 27’.

Machhindra FC – Sujal 90+4’.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<