සධීර සහ රොෂේන් පාකිස්තාන ටෙස්ට් තරගාවලියට කැඳවයි

257

මේ වන තෙක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්ණ නොදැරූ දක්ෂ පිතිකරණ යුගලයක් වන සධීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කොට ඇත. දෙපිළටම ඉතාමත් වැදගත් වන මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

MAS යුනිචෙලා දිනවන්නට මහේල උඩවත්තගෙන් ශතකයක්!

දිනෙන් දිනම උණුසුම් වන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (20) ක්‍රියාත්මක වූ තරග 5 දී ජයග්‍රහණ වාර්තා..

අභිනවයෙන් පත්වීම් ලද ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම සංචිතය තෝරාගෙන ඇති අතර, කණ්ඩායම මේ මස 24 වැනි ඉරුදින එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පියාසර කිරීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 28 වැනිදා අබුඩාබි හිදීයි. ඩුබායි නුවර දී ක්‍රියාත්මක වීමට නියමිතව ඇති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම රෝස පැහැ පන්දුව භාවිතයෙන් දිවා – රාත්‍රී ටෙස්ට් තරගයකට එක්වන පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.

තවමත් 22 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩා තරුවක් වන සධීර සමරවික්‍රම 2016/17 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඉනිම 19කට ක්‍රීඩා කරමින් ලකුණු 1016ක් ලබා ගැනීමට ද ඔහු සමත්කම් දැක්වීය. ඒ කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 10ක් තුල දී අර්ධ ශතක 6ක් සහ ශතක 3ක් රැස්කර ගනිමිනි.

පසුගිය දශකයක පමණ කාලයක් පුරාවට රොෂේන් සිල්වා තම නාමය දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම තැබූ අතර ලකුණු සාමාන්‍යය 50කට ආසන්න ටෙස්ට් පිටියේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාලෝලීන් බොහෝමයක් අතර ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ද සමත් විය. මේ වන විට පළමු පෙළ තරග 100කට වඩා වැඩි අත්දැකීම් සහිත ඔහු ලකුණු 6000 සීමාව ද පසුකර ගොස් ඇති අතර ඊට ශතක 18ක් සහ අර්ධ ශතක 26ක් ද ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පුහුණුවීම් අතරතුර දී මස්පිඬු ආබාධයකට ලක්වීම රොෂේන් සිල්වාගේ ටෙස්ට් ආගමනයට තුඩුදුන් අතර, ශ්‍රී ලංකා පිළේ හිටපු නායකයාගේ සහභාගීත්වය සමාරම්භක ටෙස්ට් තරගය සඳහා අවිනිශ්චිත වන බව මේ වන විට දැනගන්නට ලැබෙයි.

මෙම වසර මුල දී දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියකට එක්වුණු දකුණත් පිතිකරු කෞෂාල් සිල්වාට මෙවර නැවතත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබෙන අතර ඔහු බොහෝ දුරට ඉදිරි මාස 6ක කාලයක් සඳහා ටෙස්ට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට තීරණය කර ඇති උපුල් තරංගගේ හිඩැස පිරවීමට කටයුතු කරනු ඇත. මෑතක දී නිමාවුණු ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අතරතුර දී තරග 3කට සහභාගි වී අර්ධ ශතක දෙකක් රැස් කර ගත් ලහිරු තිරිමාන්න ද මෙවර සංචාරය සඳහා එක්වන අතර ඔහු ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමට අවසන් වරට ක්‍රීඩා කළේ මීට වසරකටත් ඉහත දීයි.

ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී තරග 3ම සඳහා සහභාගි වී කඩුලු 2ක් පමණක් බිඳ හෙලූ දිල්රුවන් පෙරේරා ද පාකිස්තානය සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කොට ඇති අතර ඔහු සමඟ ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය සවිමත් කිරීම සඳහා ප්‍රවීණ ක්‍රීඩක රංගන හේරත් සහ චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් එක්වී ඇත.

වේගපන්දුවේ ජවය රඳවා ගැනීම සඳහා නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් එක්ව සිටින අතර ඔවුන්ට සහය දැක්වීමට වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ සැදී පැහැදී සිටිති. කෙසේ වෙතත් ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ වමතින් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාරට සහ නවක දකුණත් වේග පන්දු යවන්නෙකු වන ලහිරු කුමාරට මෙවර සංචාරයේ අසුනක් වෙන්කර ගැනීමට හැකි වී නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන තෙක් සංචිතය පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර නැත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු.

crilab තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට