මිලර්, සාර්ථකත්වයට මඟ කියයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය 2022

380
Courtesy - Khaleejtimes

2022 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වන ඩේවිඩ් මිලර්, මේ වසරේ තම සාර්ථකත්වයට හේතු දක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ඩේවිඩ් මිලර් තරග අවසන් කරන්නෙකු ලෙස ගෞරවය දිනා ගත් අයෙක්. 2022 IPL තරගාවලියට පෙර ඔහුගේ යම් අසාර්ථකත්වයක් දකින්නට තිබුණා. එහෙත් ඒ අභියෝගය ජය ගනිමින් සාර්ථක වන්නට IPL තරගාවලියේ දී ඔහු සමත්ව තිබෙනවා.

“මේක දඟපන්දු යවන්නන්ට එරෙහිව මට හොඳ තරග වාරයක් වුනා. ඒක මම ගොඩක් මහන්සි වුණු දෙයක්. දඟපන්දු යවන්නන්ට එරෙහිව අපහසුවකින් පන්දුවට පහර දෙනවා කියල නම් මට කවදාවත් හිතිලා නෑ. ඒත් ඒක මම දියුණු විය යුතුව තිබුණු පැත්තක්”, මිලර් එසේ පැවසුවේ 2022 IPL මහා තරගයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවක දීයි.

මෙවර තරගාවලියේ දී ඔහු විසින් මෙතෙක් ලකුණු 449ක් වාර්තා කරගෙන තිබෙනවා. නොදැවී ලබා ගත් ලකුණු 94ක් මෙවර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. ඔහුගේ කණ්ඩායමේ ඔහුට ඉදිරියෙන් සිටින්නේ නායක හර්දීක් පාණ්ඩ්යා පමණයි.

“දඟපන්දු යවන්නට එරෙහිව හිතන ක්‍රමය මම වෙනස් කරගත්තා. පොඩි දේවල් ටිකක් වෙනස් කරගත්තේ. ඒකෙන් පන්දු යවන්නාට පීඩනයක් නිර්මාණය වෙනවා. මානසිකව මම දියුණු කරගන්න හදපු දේවල් වලින් එකක් තමයි ඒක”, මිලර් පැවසුවා.

Courtesy – Khaleejtimess

මෙම තරග වාරයේ දී ඔහු විසින් ජයග්‍රහණය කිරීමට අපහසු තරග කිහිපයක්ම අවසන් මොහොතේ විශාල පහරවල් වලින් ජයග්‍රහණය කරා ගෙන ගියා.

“මේ තරග වාරයේ දී මම ටිකක් ඉහළින් තමයි පන්දුවට පහර දෙන්නේ. තරග සියල්ල ක්‍රීඩා කිරීමට ලැබීම නිසා ක්‍රීඩකයෙකුට විශ්වාසයක් ඇති වෙනවා සහ කණ්ඩායමේ ස්ථානය ගැන වදවෙන්න තියෙන අවස්ථාව නැතිවෙලා යනවා. ඒ නිසා කණ්ඩායමෙන් එළියට-ඇතුළට යන්න නොවීම ටිකක් සතුටුදායකයි. මම ඉතාම කැමතියි දිනන කණ්ඩායමක් තුළ ක්‍රීඩා කරන්න ලැබුණු එක ගැන”, ඔහු තවදුරටත් පැවසුවා.

2022 IPL තරගාවලියේ අවසන් මහා තරගය අද (29) රාත්‍රියේ දී ගුජරාත් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් අතර අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<