සබරගමුව පහසු ජයක් ලබද්දී උතුරු සහ වයඹ තරගය සමයි

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

155

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අද (14) පැවති තරග ද්විත්වයක් ගාල්ල සහ මාතර කේන්ද්‍ර කර ගනිමින් නිමාවට පත්වුනා.

එම තරගවලින් මධ්‍යම පළාත පරදවා සබරගමුව ක්‍රීඩකයින් ජයග්‍රහණය ලබා ගනිද්දී, උතුරු සහ වයඹ පළාත් අතර තරගය සමව අවසන් වුනා.

මධ්‍යම සහ සබරගමු පළාත් අතර තරගය

ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ අද (14) සවස් වරුවේ පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට සබරගමු පළාත් ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ පළමු ගෝලය 17 වැනි මිනිත්තුවේ දී රැස් කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට එම්. රසාන් සමත් වුනේ ගෝලය ආසන්නයට පැමිණි පන්දුවක් පහසුවෙන්ම ගෝලයට එල්ල කරමිනුයි.

එම ගෝලයෙන් පසුව පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වූ සබරගමු නායක මොහොමඩ් ශිෆාන් සමත් වුනේ ඉතා අලංකාර පහරක් මගින් පන්දුව ගෝලය වම් කෙළවරින් දැල තුළට එල්ල කරමිනුයි.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට මධ්‍යම පළාත් ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

පෙර අර්ධයේ සිදු වූ අඩුපාඩු මගහරවා ගනිමින් තරගයට පිවිසීමේ අරමුණින් මධ්‍යම පළාත් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයට අවතීර්ණ වූවත් එම අර්ධය තුල දී ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: සබරගමු පළාත 2– 0 මධ්‍යම පළාත

ගෝල ලාභීන්:

  • සබරගමු: එම්. රසාන් 17’, මොහොමඩ් ශිෆාන් 45+1’

උතුරු සහ වයඹ පළාත් අතර තරගය

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ අද (14) සවස් වරුවේ පැවති මෙම තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් වුනා.

දෙපිලටම දෝලනය වූ පළමු අර්ධයේ ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම හිමිවූවත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගැනීමට දෙපිලටම නොහැකි වීම නිසාවෙන් එම අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වේලාවකින් පසුව ක්‍රියාත්මක වූ උතුරු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක එම්. නිදර්සන් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට සමත් වුනේ 57 වැනි මිනිත්තුවේ දීයි.

ඌව පළාත් කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් සොයමින් සිටිය දී වයඹ ක්‍රීඩකයෙකු ගෝලයට එල්ල කළ පහරක් වැළැක්වීමට ගිය වයඹ ක්‍රීඩක ටී. ක්ලින්ටන්ගේ පාදයේ වැදුණු පන්දුවක් ගෝලයට යොමු වීම නිසාවෙන් ගෝල තත්වය සම කිරීමට වයඹ ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඉන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ වයඹ ක්‍රීඩක එන්. මොහොමඩ් තරගයේ 83 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරින් දැල වෙත යොමුකිරීමට සමත් වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායම සතු කර ගනිමිනුයි.

තරගාවලියට පුරාවට උතුරේ ගැලවුම්කරු වූ එම්. නිදර්සන් තරගයේ අවසන් අමතර කාලයේ දී ලැබූ නිදහස් පහරක් ගෝලයේ දකුණු කෙළවරින් දැල වෙත යොමුකරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: උතුරු පළාත 2 – 2 වයඹ පළාත

ගෝල ලාභීන්:

  • වයඹ: එන්. මොහොමඩ් 83’
  • උතුර: එම්. නිදර්සන් 57’ & 90+2’, ටී. ක්ලින්ටන් 78’ (OG)

තරගාවලියේ ඉදිරි තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි,

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<