නායක උපනායක සුසංයෝගය ශ්‍රේණිගත කිරීම්හී මුල් පුටු දෙකට!

252

යාවත්කාලීන කරන ලද අන්තර්ජාතික එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු සහ දෙවන ස්ථාන තම නමින් වෙන් කරවා ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සහ උපනායක රෝහිත් ෂර්මා සමත් වී තිබේ. ඔවුන් දෙදෙනාට අමතරව ඉන්දීය වේගපන්දු බලඇණියේ නියමුවා ලෙස කටයුතු කරන ජස්ප්‍රිට් බුම්‍රා හටද එක්දින පන්දු යවන්නන්ගේ වර්ගීකරණයන්හී දෙවන ස්ථානය හිමි කරගැනීමට හැකිව තිබේ.

මම පිස්සෙක් වගේ කෑම කෑවා ඒ දවස්වල – කෝලි

බුම්‍රා අභිබවා යමින් ශ්‍රේණිගත කිරීම්හී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් සමත්ව ඇති අතර ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක මුජීබර් රෙහ්මාන් ද සෙසු පන්දු යවන්නන් හට කරට කර සටනක් ලබා දෙමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය දක්වා උසස් වීමක් හිමිකරගෙන තිබේ. 

තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සලකා බැලීමේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් නබි එම නාමාවලියේ පෙරමුණෙහි රැඳෙන අතර ප්‍රබල එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එහි දෙවන ස්ථානයෙහි පසු වන්නේ කලක් මෙම අංශයේ ඉහළින්ම වැජඹුණු ඉන්දීය තුන් ඉරියව් විශේෂඥ රවින්ද්‍ර ජඩේජා අටවැනි ස්ථානය දක්වා ඇඳ දමමිනි.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස කටයුතු කරන ජොනි බෙයාර්ස්ටොව් සහ ජේසන් රෝයි නැවත වතාවක් දක්ෂතම පිතිකරුවන් දස දෙනාගේ ලැයිස්තුවෙහි තම ආසන වෙන් කරවා ගැනීමට මාන බලමින් සිටින්නේ ICC ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අයර්ලන්ත තරගාවලිය තමන්ට ආවේණික වූ ප්‍රහාරාත්මක පිතිකරණ රටාවන් දියත් කිරීමේ තෝතැන්නක් ලෙස යොදා ගැනීමේ අභිලාෂයෙනි. 

වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔවුන් දෙදෙනා පිළිවෙළින් 14 වැනි සහ 11 වැනි ස්ථානයන්හී පසුවේ. එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් (23 වැනි ස්ථානය) මීට වසර 14කට ඉහත දී තමන් එක්දින වරම් හිමිකර ගන්නා විට නියෝජනය කළ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැඳීමට සූදානමින් පසුවන්නේ ශ්‍රේණිගත කිරීම්හී 23 වැනි ස්ථානයෙහි රැඳෙමිනි.

Kohliගේ අසාර්ථකත්වය මකා දැමූ Shastriගේ උපදෙස

කොදෙව්-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වූ කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකු අයර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම්කොට නොමැති අතර එම නිසාවෙන් ප්‍රබල වේගපන්දු යවන්නන් කිහිප දෙනෙකුටම එක්දින කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව අහිමිව තිබේ. 

ඒ අනුව එංගලන්ත පන්දු යැවීමේ බලඝනය ශක්තිමත් කිරීමේ කාර්‍යභාර්‍ය ආදිල් රෂීඩ් (29 වැනි ස්ථානය) සහ මොයින් අලි (44 වැනි ස්ථානය) දෙදෙනාගේ කර මත පැවරී ඇති අතර වසර ගණනක් අයර්ලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දුන් විලියම් පොටර්ෆීල්ඩ් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟම කණ්ඩායමේ නව නායකත්වයක් යටතේ ඉදිරියට රැගෙන යාමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඇන්ඩි බැල්බර්නි අයර්ලන්ත කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස තෝරාපත් කරගැනෙද්දී ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධානතම තුරුම්පුව බවට පත්ව තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම්හී 27 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයයි. දඟ පන්දු යවන ක්‍රීඩක ඇන්ඩි මැක්බ්‍රින් සහ වේග පන්දු යවන ක්‍රීඩක බොයිඩ් රෑන්කින් පන්දු යැවීමේ අංශයෙන් අයර්ලන්ත කණ්ඩායම බලාපොරොත්තු සඵල කරගැනීමට දායක වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<