ජූඩ් Hattrick එකක් වාර්තා කරද්දී දකුණේ ජයග්‍රාහී ගෝලය මධුප්‍රියගෙන්

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

250

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ තරග දෙකක් අද (11) නිමා වූ අතර එහි දී දකුණ සහ බස්නාහිර පළාත් ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

බස්නාහිර සහ ඌව පළාත් අතර තරගය

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී මෙම තරගය නිමාවට පත්වුනේ බස්නාහිර ක්‍රීඩකයින් විසින් ගෝල 4-0ක් ලෙස ඌව ක්‍රීඩකයින් පරාජය කරමිනුයි.

සවස 3:30ට පමණ ආරම්භ වූ තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ බස්නාහිර සුපිරි ක්‍රීඩක නවීන් ජූඩ් විසිනුයි.

ඔහු විසින් පළමු අර්ධය නිමා වීමට පෙර තවත් ගෝලයක් ලකුණු පුවරුවට එකතු කරන්නට සමත් වුනේ පළමු අර්ධයේ අතිරේක කාලයේ (45+2) දී. ඒත් සමඟින් පළමු අර්ධය නිමා වුනේ ගෝල 2-0ක් ලෙසයි.

තෙවැනි අර්ධයට ද සාර්ථක ආරම්භයක් ලබා ගන්නට නවීන් ජූඩ් සමත් වුනේ මෙම තරගය තුල ගෝල ත්‍රිත්වයේ අවස්ථාවක් සාර්ථක කරගනිමිනුයි. තරගයේ 49 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයත් සමඟ ඌව ක්‍රීඩකයින් දෙසට තරගයේ වැඩි පීඩනයක් එල්ල වුනා.

කෙසේ නමුත් එම ගෝලයෙන් පසුව බස්නාහිර ලකුණු පුවරුව තවත් ඉහළ දමන්නට ශිෂාන් ප්‍රබුද්ධ සමත් වුනේ 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි.

කෙසේ නමුත් බස්නාහිරින් එල්ල වූ ප්‍රබල පීඩනයට ප්‍රතිඋත්තර ලබා දෙන්නට ඌව ක්‍රීඩකයින්ට නොහැකි වූ අතර තරගය අවසන් වුනේ ගෝල 4-0ක සුපිරි ජයක් බස්නාහිරට උරුම කර දෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: බස්නාහිර පළාත 4 – 0 ඌව පළාත

ගෝල ලාභීන්:

  • බස්නාහිර: නවීන් ජූඩ් (19’, 45+2’ & 49,), ශිෂාන් ප්‍රබුද්ධ (64’)

මධ්‍යම සහ දකුණු පළාත් අතර තරගය

ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කරන්නට දකුණු පළාත් ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ප්‍රථම අර්ධය තුල කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කරන්නට නොහැකි වූ අතර දෙවැනි අර්ධය තුල ද කණ්ඩායම් දෙකට ගෝල වාර්තා කරන්නට කිසිදු අවකාශයක් හිමි වුනේ නැහැ.

නමුත් දෙවැනි අර්ධයේ අතිරේක කාලයේ දී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට අවතීර්ණ වූ ඒ. ඩී. සී. මධුප්‍රිය විසින් තරගය ජයග්‍රහණයකින් අවසන් කරන්නට සමත් වුනේ දකුණ වෙනුවෙන් සාර්ථකව ගෝලයක් දැල් ගත කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: මධ්‍යම පළාත 0 – 1 දකුණු පළාත

ගෝල ලාභීන්:

  • දකුණ: ඒ. ඩී. සී. මධුප්‍රිය (90+3’)

ඒ අනුව තරගාවලියේ 4 වැනි අදියර අදින් අවසන් වන අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථානය සබරගමුව සතු වන අතර දෙවැනි ස්ථානය උතුර විසින් දිනා ගෙන තිබෙන්නේ කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 11 බැගින් වාර්තා කරමිනුයි.

තරගාවලියේ මීළඟ සතියේ තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<