කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 52 වැනි වරටත් පැවැති සාන්තුවරයන්ගේ සටන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් ගැටුම අද (25) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.
කාසියේ වාසිය හිමිකර ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගන්නවා.
අද තරගයේ දී වාර්ෂික මහා ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට සිය ස්ථාන අහිමි ව තිබුණා. ඒ අනුව සාන්ත පීතර විද්‍යාලයේ අසදිස ද සිල්වා වෙනුවට එවන් රොද්‍රිගෝ ද සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ දිසිනු සමරසිංහ වෙනුවට තිසඟ පෙරේරා ද නම් කර තිබුණා.
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිශ්ම අමරසිංහ (නායක), යෙනුල දන්තනාරායන, අවීශ සමාස්, චේතිණ කාවින්ද, සෙනුජ වකුණගොඩ, පමෝද් දල්පදාදු (කඩුලු රකින්නා), දිල්ප මදුරංග, නුශාන් පෙරේරා, , විග්නේශ්වරන් ආකාශ්, තිසඟ පෙරේරා සහ විශ්ව පීරිස්.
සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
එනෝෂ් පීටර්සන් (නායක), සවි ප්‍රනාන්දු, දිනෙත් ද සිල්වා, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සවිඳු සිල්වා, , ජොෂුවා සෙබස්තියන්, තරීන් සංකේත්, සදීශ සිල්වා, එවන් රොද්‍රිගෝ, සදීශ කාරියවසම් සහ ජනිත් පණ්ඩිතරත්න
- දිලුම් සුදීර නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ඩැහැ ගනී
- හික්කඩුව සුමංගලයන් නැවතත් වික්‍රමාන්විත මෙහෙයුමක් අවසන් කරයි
- දඹුලු ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු ජය වාර්තා කරයි
- ජෝසප්වරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- සාන්තුවරයන්ගේ සටන 69 වැනි වරටත් විසඳුමකින් තොර වෙයි
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගන්නවා.
එම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරුවන් වූ සවි ප්‍රනාන්දු සහ දිනෙත් ද සිල්වා සමත් වීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දිනෙත් ද සිල්වා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 39ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සාන්ත පීතර විද්‍යාලයීය ඉනිමට තවත් ලකුණු 9ක් එක් වෙද්දී සවි ප්‍රනාන්දු ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටි ජේසන් ප්‍රනාන්දු ට හුදකලා ඉනිමක නිරත වීමට සිදු වෙනවා. ඔහු එක් අන්තයක හිර වී සිටිය දි සාන්ත පීතර විද්‍යාලයීය ඉනිමේ තවත් කඩුලු ද්විත්වයක් දැවී යනවා.
ජේසන් ප්‍රනාන්දු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙනවා.
ඔහු දැවී යන විට එම කඩුල්ලට නායක එනෝෂ් පීටර්සන් හා එක් ව ලකුණු 64ක සබඳතාවක් ද එක් කරනවා. එනෝෂ් පීටර්සන් පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත් අතර ඊට අමතර ව සදීශ සිල්වා ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් දැවී යන විට පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නුශාන් පෙරේරා ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විශ්ව පීරිස් සහ තිසඟ පෙරේරා කඩුලු ද්විත්වය බැගින් ද සහ විග්නේශ්වරන් ආකාශ් කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ඉනිමේ පළමු ලකුණු 50 වාර්තා වෙද්දී කඩුලු ද්විත්වයක් දවා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වෙනවා. ඒ වෙද්දී ක්‍රියාත්මක ව තිබුණේ ඉනිම 11 වැනි පන්දුවාරයයි.
කෙසේ වෙතත් එම තත්වයෙන් තම කණ්ඩායම ගලවා ගැනීමට අවීශ සමාස් සහ සෙනුජ වකුණුගොඩ සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 119ක සබඳතාවක් ගොඩ නගමින් බම්බලපිටිය බල පරාක්‍රමය බිඳ දමනවා.
සෙනුජ වකුණුගොඩ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 73කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. අනතුරු ව ලකුණු 11ක් තුළ තවත් කඩුලු 2ක් දවා ගනිමින් තරගයට අවතීර්ණ වීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වෙනවා.
එහෙත් එවර පන්දු 25ක දී ලකුණු 29ක සබඳතාවක් ගොඩ නගමින් නැවත තරගය තම කණ්ඩායම වෙත නම්මවා ගැනීමට අවීශ සමාශ් සහ දිල්ප මදුරංග සමත් වෙනවා. ජයග්‍රහණයට තවත් ලකුණු 32ක් ඇවැසිය තිබිය දී එතෙක් සාර්ථක ඉනිමක නිරත වෙමින් සිටි අවීශ සමාශ් ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 90කට මුහුණ දෙිමන් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 85ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දිල්ප මදුරංග සහ නුශාන් පෙරේරා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 41ක දී නොදැවුණ ලකුණු 33ක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වෙනවා.
ඒ වෙද්දී දිල්ප මදුරංග පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද සහ නුශාන් පෙරේරා පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා සිටියා.
සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 233ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරද්දී තරීන් සංකේත් සහ සවිඳූ සිල්වා කඩුලු ද්විත්වය බැගින් ද සහ ජොෂුවා සෙබස්තියන් සහ එවන් රොද්‍රිගෝ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත පීතරවිද්‍යාලය– කඩුලු 9ක් දැවී 231 (50.0) දිනෙත් ද සිල්වා 39, ජේසන් ප්‍රනාන්දු 52, එනෝෂ් පීටර්සන් 26, සදීශ සිල්වා 34, තිසඟ පෙරේරා 2/49, විශ්ව පීරිස් 2/46, නුශාන් පෙරේරා 3/33
- සාන්ත ජෝසප් විද්‍යාලය– කඩුලු 6ක් දැවී 233 (41.5) අවීෂ සමාශ් 85, සෙනුජ වකුණුගොඩ 73, නුශාන් පෙරේරා නොදැවී 21, සවිඳු සිල්වා 2/60, තරීන් සංකෙත් 2/38
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.
තරගයේ නැගී එන ක්‍රීඩකයා – තිසඟ පෙරේරා (සාන්ත ජෝසප් විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සෙනුජ වකුණුගොඩ (සාන්ත ජෝසප් විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – නුශාන් පෙරේරා (සාන්ත ජෝසප් විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – ජේසන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය)
තරගයේ වීරයා – අවීශ සමාශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















