නෙදර්ලන්තයෙන් ලෝක කුසලානයට හොඳ සංචිතයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

233

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් නෙදර්ලන්ත සංචිතය මේ වන විට නිකුත් කර අවසන්.

සිව්වැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලානයක් සඳහා සහභාගී වන නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Pieter Seelaar විසිනුයි. 

ලෝක කුසලානය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වට සඳහා ඇතුළත් නොවූ 37 හැවිරිදි Stephan Myburgh ද ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඒ් දේශීය වශයෙන් සහ විදෙස් තරග බිමේ ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනුයි. ඔහු නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා ද සහභාගි වූ දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර ඔහු විසින් ලකුණු 280ක් රැස කරගත්තේ 31.11 සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. 

31 හැවිරිදි Logan van Beek සහ 21 හැවිරිදි Bas de Leede ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන අලුත් ක්‍රීඩකයින් දෙදෙනෙක්. De Leedeගේ පියා වන Tim De Leede 1996 සිට 2007 කාලයක් දක්වා නෙදර්ලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි සඳහා ක්‍රීඩා කළ ප්‍රවීණ ක්‍රීඩකයෙක්. ඔහු 2003 වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවති තරගයක දී ලකුණු 35ක දී කඩුලු 4ක් දවා ගමින් තරගයේ වීරයා ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබෙනවා. 

පිතිකරණයෙන් මැදපෙළ සවිමත් කිරීමට Ryan ten Doeschate සහ Roelof van der Merwe සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව Max O’Dowd, Ben Cooper සහ Scott Edwards පිතිකරණයෙන් සංචිතය සවිමත් කරනු ඇත.

නෙදර්ලන්තය A කාණ්ඩය යටතේ ලෝක කුසලානයේ පළමු වටයේ සඳහා සහභාගී වීමට නියමිත අතර එම කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ අයර්ලන්තය, නැමීබියාව සහ ශ්‍රී ලංකාවයි. කාණ්ඩයේ ප්‍රථම ස්ථාන ද්විත්වය දිනා ගන්නා කණ්ඩායම් පමණක් සුපිරි 12 වටය දක්වා ගමන් කරනු ඇත.

නෙදර්ලන්ත ලෝක කුසලාන සංචිතය: Pieter Seelaar (c), Colin Ackermann, Philippe Boissevain, Ben Cooper, Bas de Leede, Scott Edwards, Brandon Glover, Fred Klaassen, Stephan Myburgh, Max O’Dowd, Ryan Ten Doeschate, Logan van Beek, Timm van der Gugten, Roelof van der Merwe, Paul van Meekeren; Reserves: Tobias Visee, Shane Snater

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත ළඟා කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<