පැරැණි අය කපල දැම්මා නොවෙයි අලුත් අයට අවස්ථාවක් දුන්නා

118

අදින් ඇරැඹෙන ශ්‍රී ලංකා-පාකිස්තාන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ තෝරාගැනීම් සම්බන්ධව විවිධාකාර විවේචන එල්ල වූ අතර, ඊයේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග කියා සිටියේ එළැඹෙන 2016 ලෝක කුසලානයට පෙර නවකයන් අත්හදා බැලීමට මෙම තරග දෙක යොදාගත් බවයි.

2010 වසරේ සිට විස්සයි-20 තරග සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් දෙදෙනකු මෙම සංචිතයට තෝරාගෙන නැති බවට තමන්ට චෝදනා එල්ල වී ඇති බව කී මාලිංග චන්දිමාල් හා තිරිමාන්න යන එම දෙදෙනා දක්‍ෂයන් බැවින් අලුතින් ඔවුන් ගැන අත්හදා බලන්නට නොමැති බවත් තවත් දක්‍ෂ නවකයන් සිටිනවාද යන්න ඉක්මනින්ම සොයා ගනිමින් ඉදිරි ගමනක් යන්නට මෙවන් තීරණ ගත් බවද පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයා විදියට කණ්ඩායමේ තේරීම් කටයුතුවලට සහභාගි වීමට ඉඩ ලැබෙන බව කී මාලිංග “ඉදිරියේදී කොහේද යන්න ඕන කියලා අපට අරමුණක් තියෙන්න ඕන. විස්සයි-20 ලෝක කුසලානයට පෙර මාස 6ක පමණ කාලය බැලුවොත් අපට තවත් තරග 10ක් 12ක් ප්‍රමාණයක් පමණයි ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒ නිසා නවකයන් මේක හොඳ අවස්ථාවක් කරගෙන ඔවුන්ව අත්හදා බලන්න මට අවශ්‍ය වුණා. නවක ක්‍රීඩකයන් රැසක් අපට ඉන්නවා. ඔවුන්ගේ සුදුසුකම් ජාත්‍යන්තර තරග මට්ටමට සුදුසුද බලන්න හොඳම වෙලාව මේකයි. ඒ නිසා තේරීම් කමිටුවත් සමඟ සුහදව කතා කරලා අනාගතය ගැන හිතල කළ මෙම තේරීම් ගැන මට ගොඩක් සතුටුයි” යනුවෙන් පැවැසීය.

තවද මාධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා ගෙවී ගිය එක්දින තරගාවලියේදී තමන් අසාර්ථක වූ බව පිළිගන්නා බවත්, යළි පුහුණු කටයුතු ප්‍රගුණ කරගැනීමෙන් පසුව නැවතත් සුපුරුදු රිද්මයෙන් එක්දින කණ්ඩායමට ඇතුළත් වීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය. කෙසේ වෙතත් විස්සයි-20 තරගාවලියේ කණ්ඩායම මෙහෙයවීමේ විශ්වසනීයත්වයට එය හානියක් නොවන බවත් එකී දුර්වලතා මඟහැර ගෙන විස්සයි-20 තරගාවලිය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.