2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් එහි F44 කාණ්ඩය නියෝජනය කරනවා. 

යුද හමුදා පොලිස් සේවා බලකායෙන් පැරාලිම්පික් උළෙලක් සඳහා සහභාගී වෙන පළමුවැන්නා සමිත. වළලුකර අක්‍රීය තත්ත්වයේ සිටින සමිත තවමත් 31 වැනි වියේ පසුවෙන ගැටවරයෙක්. 

“දන්න කියන කාලේ සිට ම ලොකු ආසාවක් තිබුණා දක්ෂ මලල ක්‍රීඩකයෙක් වෙන්න. පාසල් කාලයේත් ඊට පස්සෙත් ඒ වෙනුවෙන් ම වෙහෙසුණා. ලැබුණ මේ අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා. පැරාලිම්පික් උළෙලේ දී මෙවර ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා“, සමිත දුලාන් ThePapare.com සමඟ එකතු වෙමින් පැවසුවා. 

සමිතගේ ගම දෙනියාය. හෝඩියේ පංතියේ සිට උසස් පෙළ දක්වා ම පාසල් යන්නේ දෙනියාය ජාතික පාසලට. පාසල් යන මුල් කාලේ දන්න කියන හැම මලල ක්‍රීඩාවක ම නිරත වුනා. මේ නිසා නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන කාලවල සමිත වැඩි හරියක් ම හිටියේ පිට්ටනියේ. ඒත් ටිකෙන් ටික උස් මහත් වෙද්දී, වයසින් වැඩෙද්දී සමිතගේ මේ පුරුද්ද අඩු වෙනවා.

“හතේ, අටේ පංතිවල දී වගේ අනෙක් ක්‍රීඩා මඟ ඇරිල මගේ හිත ගියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට. ඒත් අපිට හරියකට දාන්න හෙල්ලක් වත් තිබුණෙත් නැහැ. ඒ වෙනුවෙන් ම පුහුණුකරුවෙක් වත් හිටියේ නැහැ. නමුත් පාසලේ සිටි ශාරීරික අභ්‍යාස ගුරුවරු දන්න විදිහට හෙල්ල විසි කරන්න කියල දුන්නා. කලාප, දිස්ත්‍රික් තරගවල පළමු තුන් දෙනා අතර හිටියා. ලොකු ජයග්‍රහණ නොලැබුණත් සමස්ත ලංකා තරගවලට පවා සහභාගී වුනා.“

සමිතගේ පියා කේ. ඒ. වසන්ත, මේ වන විට විශ්‍රාමික සුවයෙන් පසුවෙන යුද හමුදා නිලධාරියෙක්. මව ඒ. ටී. කේ. ශාන්ති, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. පවුලේ එක ම දරුවා සමිත. දෙමාපියන් රැකියාවල නියුතු වීම හේතුවෙන් සමිතට පාසල් කාලයෙන් පසුවත් ඕන තරම් නිදහස ලැබුණා. 

“මේ ක්‍රීඩාවට ඇබ්බැහි වෙන්න ඒක තවත් හේතුවක් වෙන්න ඇති. තාත්තා කෑම්ප්වල සිටිද්දි ගෙදර එන්නේ මාසයකට සැරයක්. අම්මත් උදේ ගියහ ම එන්නෙ හවසට. මම පාසල් කාලයෙන් පස්සෙත් හෙල්ල විසි කිරීමේ පුහුණුවීම්වලට ගියා. ඒ දවස්වල මගේ පුහුණුවීම් බැලුවේ ජගත් සහ මංචනායක කියන සර්ල දෙන්නෙක්. මම පුහුණුවීම්වලට ආසාවෙන් සහභාගී වුනා. ඒක ඒ තරමට ම මගේ හිතට කා වැදිලා තිබුණා. මේ බව ගෙදරිනුත් දැන ගෙන හිටියා. ඒත් ගෙදරින් කවදාවත් ඒකට තහංචි පැනෙව්වේ නැහැ.“

එහෙම ඇරඹෙන සමිතගේ හෙල්ල විසි කිරීමේ තරග ඉතිහාසය වඩාත් වර්ණවත් වෙන්නේ යුද හමුදා පොලිස් සේවා බලකාය හෙවත් මිලිටරි පොලිසියට බැඳුනට පස්සේ. 

“පාසලෙන් ඉවත් වුනාට පස්සෙත් මම හෙල්ල අත හැරියේ නැහැ. පුළුවන් විදිහට පුහුණුවීම් කළා. රස්සාවකට ගියත් ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් තැනකට යනවා කියලා තමයි හිතාගෙන හිටියේ. තාත්තා සේවය කළේ යුද හමුදාවේ. ඔය අතර මිලිටරි පොලිසියට ක්‍රීඩා කරන්න පිරිස් බඳවා ගන්නවා කියන ආරංචිය තාත්තට ලැබෙනවා. ඒ අනුව මමත් ඒකට ඉල්ලුම් කරනවා.“

ඒ අනුව සමිත 2009 වසරේ දී යුද හමුදා පොලිස් සේවා බලකායට එක්වීම සඳහා ගිරිතලේ යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව සඳහා එක් වෙනවා. පුහුණුවෙන් පස්සේ එතෙක් අවධිමත් ව ඉගෙන ගත් හෙල්ල විසි කිරීමේ ඉසව්ව විධිමත් ව ඉගෙන ගැනීමට සමිතට ඉඩ විවර වෙනවා. ඒ අනුව පුහුණුව ලැබූ සමිත 2016 වසරේ දී යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගන්නවා. 

“ඒක මගේ සිහිනයක්. දන්න කියන කාලේ සිට ම හිතේ තිබුණ සිහිනයක්. මේ ජයග්‍රහණයත් සමඟින් ක්‍රීඩාවේ ඉදිරි ගමන ගැන ගොඩක් බලාපොරොත්තු ගොනු ගැහුණා. මම තව තවත් පුහුණුවීම්වලට යොමු වුනා. ඒත් ඒක මට කරගන්න පුළුවන් වෙන්නේ ටික කාලයයි.“

එක්තරා දිනයක දී පුහුණුවීම් අවසන් ව නේවාසිකාගාරය වෙත යද්දී සමිත නොසිතු රිය අනතුරකට ලක් වෙනවා. මේ හේතුවෙන් පාදයේ වළලුකර අක්‍රීය තත්ත්වයට පත් වෙන සමිත අවුරුදු දෙකක පමණ කාලයක් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

 “ක්‍රීඩා කරන්න බැහැ කියල දැන ගත්තහම මට මුළු ලෝකෙම අහිමි වුනා වගේ හැඟීමක් දැනුණේ. රෝහලේ සිටිද්දී ඒ ගැන ම හිතුවා මිසක් වෙනත් කිසිවක් ම දෙයක් හිතුවේ නැහැ. හිතුනෙත් නෑ. ක්‍රීඩාව ලේසියෙන් හිතෙන් ඉවත් කරන්න බැරි තරමට මගේ ඇඟට බද්ධ වෙලා තිබුණේ. මගේ ආබාධිත තත්ත්වයට වඩා මට දුක හිතුණේ මට ක්‍රීඩකයෙක් ලෙසින් තව දුරටත් ක්‍රීඩා පිටියට බහින්න බැරි වෙනවා නේද කියන දුක.“

මේ වෙලාවේ සමිතගේ ශක්තියට අම්මත් තාත්තත් වගේ ම සමිතට ආදරය කළ යුරේෂා රංගනිත් හිටියා. යුරේෂා අද සමිතගේ ආදරණීය බිරිඳ. අම්මා තාත්තා වගේ ම යුරේෂාත් සමිත ආබාධිත වූවත් සමිතගේ සිහින ආබාධිත වීමට ඉඩ දෙන්නේ නැහැ. සමිත රෝහලෙන් පිටත් වෙන විට ඔහුට පැරා ක්‍රීඩා පිටියට පිවිසීමට අවශ්‍ය හැම කටයුත්තක් ම ඔවුන් සකසා තිබුණා. ඒකට පියාගේ යුද හමුදා සේවයේ දැනුමත් උපයෝගී වී තිබුණා.

“ඒක මට විශාල ශක්තියක් වුනා. ඔවුන් මගේ සිහිනවලට ජීවය දෙන්න විශාල කැපවීම් කළා. මම නැවත පුහුණුවීම් ආරම්භ කළා. මගේ පුහුණුකරු වුනේ ප්‍රදීප් නිශාන්ත සර්. ඔහුත් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. පැරා ක්‍රීඩකයෙක් ලෙසින් පුහුණුවීම් ආරම්භ කර මාස කිහිපයකින් ම මට තරග පිටියට පිවිසීමට හැකි වුනා.“

ඒ 2018 යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන්. එහි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වෙන සමිත ඉන් රන් පදක්කම දිනා ගන්නවා. ඊට පසුව එම වසරේ ම පැවති ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී සමිත තමන්ගේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්න සමත් වෙනවා. 

ඒ දක්ෂතාත් සමඟ සමිත එම වසරේ ම ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. එය සමිතගේ පළමු විදෙස් තරගාවලිය. එහි දී සමිත හතර වැනි ස්ථානය දිනා ගන්නවා. ඉන් අනතුරුව 2019 වසරේ ඩුබායි හි පැවති ලෝක ශූරතාවලිය නියෝජනය කිරීමට ද සමිත සුදුසුකම් ලබා ගන්නවා. එහි දී ද ඔහුට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය. 

“ලෝක ශූරතාවලියෙන් තමයි මම පැරාලිම්පික් යන්න සුදුසුකම් ලබා ගන්නේ. පැරා ක්‍රීඩාවට පැමිණ කෙටි කාලයකින් ම පැරාලිම්පික් යන්න සුදුසුකම් ලැබූ ක්‍රීඩකයා මම වෙන්න ඇති. කොහොම වුනත් ලැබුණ මේ අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා. ලොකු තරගකාරීත්වයක් තියෙනවා. ඒත් මගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ ක්‍රීඩා ජීවිතයට උදව් කළ සියලු ම දෙනාගේ බලාපොරොත්තුවත් ඒක. පැරාලිම්පික් උළෙලේ දී ඔවුන් සතුටු කිරීමේ යමක් කරන්න මට හැකි වේවි“, සමිත දුලාන් පැවසුවා. 

බලාපොරොත්තු සහගත ගමනේ පැතුම්, ඒ අයුරින් ම ඉටු වේවායි ThePapare.com අපෙන් ද සමිතට සුබ පැතුම්.

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී  පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<