සාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ දඩුවම් පහරවලින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පරදති

208

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ 3 වන ස්ථානය තේරීම සඳහා තරගය අද (16) පස්වරුවේ කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අතර පැවති අතර නියමිත කාලය අවසානයේ තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් අනතුරුව දඩුවම් පහර 2-3ක් ලෙස ජයග්‍රහණය හිමිකරගත් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මීගමු අභියෝග නොතකා සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ අවසන් සංග්‍රාමයට

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ අවසන්…

අවසන් පූර්ව වටයේ දී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් ගෝල 1-2ක් ලෙස සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ අතර අනෙක් අවසන් පූර්ව තරගයේ දී සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් හමීඩ් අල් හුසේනි කණ්ඩායම හමුවේ ගෝල 0-1ක් ලෙස පරාජයට පත්විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තුවේ දී ම ගෝල රාමු කලාපය ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් දිනා ගැනීමට සමත් විය. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ආර්. එම්. ප්‍රනාන්දු එම අවස්ථාව ලබා ගනිමින් පන්දුව ගෝල රාමුවේ ඉහළ දකුණු කොන වෙත යොමු කිරීමට උත්සාහ දැරුවත් එහි දී ක්‍රියාත්මක වූ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක ඒ. ආර්. කිජුමන් ඉතා විශිෂ්ට අන්දමින් එය රැකගන්නට සමත් විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ 4 වන මිනිත්තුවේ දී පන්දුව ගෝල රාමු කලාපය තුළ සිටි රජිකුමාර් සාන්තන් වෙත බාර කළත් එහි දී ඔහු එල්ල කළ පහර හොඳින් රැකගන්නට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක ප්‍රමුදිත ප්‍රකාශ් සමත් විය.

පසුව කණ්ඩායම් දෙකම පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් ඒ සදහා ඔවුන් පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය. නමුත් තරගය ඉදිරියට යද්දී සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගැනීමට සමත් වූවත් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

ආසියානු තරගාවලියට පෙර ලක් පාපන්දු ක්‍රීඩිකාවෝ විදෙස් සංචාරයක

ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම මෙන්ම බහරේනය අතර වන මිත්‍රත්වය වැඩි දියුණු කර ගැනීමේ…

කෙසේ නමුත් ඔවුන්ගේ එම උත්සාහය තරගයේ 33 වන මිනිත්තුවේ දී සාර්ථක වූයේ එස්. අභීෂන් විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගැනීමත් සමඟයි. එහි දී සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යමින් අවසානයේ නිර්මල ක්‍රිස්ටීපන් විසින් එය ගෝල රාමුව ඉදිරිපිට සිටි අභීෂන්ට බාර කළ අතර ඔහු පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් සාර්ථකව එය ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය.

සාන්ත පැට්‍රික් විද්‍යාලය ඉන්පසුව ද සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරන්නට වූ අතර නැවතත් 44 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූ ඔවුන් තරගයේ දෙවන ගෝලය ද වාර්තා කරගන්නට සමත් විය. ඩී. ඩබ්. හයිනිස් ලබා දුන් පන්දුවකට එම අවස්ථාවේ දී ද හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලයට හිමිකම් කියනු ලැබුවේ ද අභීෂන් විසිනි.

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමට සිය පළමු ගෝලය හිමිකර දෙන්නට මොහොමඩ් ෂිපාන් සමත් විය. ඒ අවස්ථාවේ දී ඔහු ගෝල රාමුව තුළ සිට එල්ල කරනු ලැබූ වේගවත් පහර සාර්ථකව ඉවතට ඇද දමන්නට කිජුමන් අසමත් වූ අතර ඒ අනුව පන්දුව ඔහුගේ දෙඅතේ වැදී ගෝල රාමුව තුළට යොමු විය.

පළමු අර්ධය: මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 01 – 02 සාන්ත පැට්‍රික් විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ 48 වැනි මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එවර ද ක්‍රියාත්මක වෙමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ෂිපාන් විසිනි. එහි දී ඔහු ගෝල රාමුව තුළ දී පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක කිජුමන් එල්ල කළ අභියෝගය මැඩලමින් සාර්ථකව එය ගෝල රාමුව තුළට යොමු කරන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එතැන් පටන් තරගයේ පාලනය තමන් දෙසට යොමුකරගත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය. ඒ අනුව තරගයේ 52 වැනි මිනිත්තුවේ දී ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව ලබා ගත් ෂිපාන් පිටියේ දකුණු අන්තයෙන් වේගයෙන් පන්දුව රැගෙන යමින් අවසානයේ එය තරින්ද සිල්වා වෙත බාර කළ නමුත් එහි දී ඔහු එල්ල කළ පහර විශිෂ්ට අන්දමින් රැකගන්නට කිජුමන් සමත් විය.

අනතුරුව තරගයේ 55 වන මිනිත්තුවේ දී හයිනිස් හට පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරන්නට පහසු අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

පසුව තරගයේ 63 වන මිනිත්තුවේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහි දී එය ලබා ගත් තරින්ද එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉහළින් ඇදී ගියේය.

“මගේ ජීවිතයේ සිදු වූ හොඳම දෙය, ඇයව හමුවීමයි” – සුවාරෙස්

පාපන්දු රසිකයන්ට නම් “සුවාරෙස්” කියන නම එතරම් ආගන්තුක නමක් නෙවෙයි. ඔහු පාපන්දු ලොවේ…

අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඒවා සාර්ථක කරගැනීමට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. එහි එක් අවස්ථාවක දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමේ ආර්. එම්. ප්‍රනාන්දු ගෝල රාමුව පිටත සිට එල්ල කළ වේගවත් පහරක් ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුවෙන් ඉවතට ඇද දමන්නට කිජුමන් සමත් වූ අතර තවත් අවස්ථාවක දී සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් හට පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් ගෝල රාමුව තුළට යොමු කිරීමට ලැබුණු ඉතා පහසු අවස්ථාවක දී ඔවුන් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යන්නට විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දෙපිළේම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ අනුව තරගයේ තීරණය දඩුවම් පහට වටයට යොමු විය.

සම්පූර්ණ කාලය: මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 02– 02 සාන්ත පැට්‍රික් විද්‍යාලය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ පළමු දඩුවම් පහර ද්විත්වය ලබා ගත් තරින්ද සහ මොහොමඩ් සාජිඩ් පමණක් සිය දඩුවම් පහර සාර්ථක කරගන්නට සමත් වූ අතර ඒ අනුව අසිත, ෂිපාන් සහ රජිදු ලබා ගත් දඩුවම් පහර ත්‍රිත්වයම අසාර්ථක විය.

අනෙක් පසින් සාන්ත පැට්‍රික් විද්‍යාලය වෙනුවෙන් දිලක්ෂන් සහ රූපට් තනූජන් ලබාගත් දෙවන සහ පස්වැනි දඩුවම් පහර අවස්ථා අසාර්ථක වුවත් හයින්ස්, රොබින්සන් සහ සාන්තන් සිය දඩුවම් පහර අවස්ථා කරගන්නට සමත් වූහ.

ඒ අනුව දඩුවම් පහර 2-3ක් ලෙස දඩුවම් පහර වටයේ ජයග්‍රහණය හිමිකරගත් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

දඩුවම් පහර වටය: මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 2 – 3 සාන්ත පැට්‍රික් විද්‍යාලය

ගෝල ලාභීන්

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – මොහොමඩ් ෂිපාන් 45+2’, 48’
  • සාන්ත පැට්‍රික් විද්‍යාලය – එස්. අභීෂන් 33’, 44’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<

Match Replay : Maris Stella College v St. Patrick’s College – 3rd Place – ThePapare Football Championship 2018

Related Articles Photos: Hameed Al Husseinie College vs St. Patrick’s…