කවිඳු, සදීර සහ චමෝද් සම්මානයට පත් NSL තරගාවලිය

8
National Super League 4 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ මේ වසරේ ශූරයන් බවට පත් වීමට ධනංජය ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පසුගියදා සමත් වෙනවා. ඔවුන් මෙම කුසලානය දිනා ගත් 2 වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2023 වසරේ දී ද ඔවුන් ශූරයන් ලෙස අභිශේක ලබා තිබෙනවා. ඊට අමතර ව ඔවුන් පසුගිය වසරේ අනුශූරයන් බවට ද පත් වුණා.

>>දඹුලු ක්‍රීඩකයෝ නැවතත් NSL ශූරතාව දිනා ගනී<<

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙවර අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායමයි.

දඹුලු ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය ක්‍රීඩාංගණය
1 කොළඹ දඹුල්ල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්. ආර්. ප්‍රේමදාස
2 ගාල්ල දඹුල්ල කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 41ක ජයක්. ආර් ප්‍රේමදාස
3 මහනුවර දඹුල්ල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්. හම්බන්තොට
අවසන් මහා තරගය
4 කොළඹ දඹුල්ල කණ්ඩායමට ලකුණු 119ක ජයක්. ආර්. ප්‍රේමදාස

කණ්ඩායම් 4ක ක්‍රීඩකයන් 70 දෙනෙක් සහභාගී වූ මෙම තරගාවලිය තරග 7කින් සමන්විත වූ අතර එහි දී ඉනිම 24ක දී ශතක 9ක් සහ අර්ධ ශතක 43ක් සමඟින් ලකුණු 6658ක් වාර්තා වෙන අතර දැවී ගිය කඩුලු සංඛ්‍යාව 208ක්.

මේ එම තරගාවලියේ ලකුණු සහ කඩුලු සම්බන්ධයන් ගැන තැබෙන සටහනක්.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සහ අවසන් මහා තරගයේ වීරයා – කවිඳු පතිරත්න (දඹුල්ල)

Most Valuable Player

තවමත් 23 වැනි වියේ පසුවෙන කවිඳු පතිරත්න මෙවන් ඇගයීමකට පත් පළමු අවස්ථාව මෙයයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහුගේ මේ වන විට නවාතැන වී ඇත්තේ NCC කණ්ඩායමයි.

දකුණතින් මඳ වේග පන්දු යැවීම ඔහුගේ ප්‍රධාන භූමිකාව වන අතර ඊට අමතර ව මැද පෙළ විශ්වසනීය වමත් පිතිකරුවෙක් ලෙසින් ද වර්ගීකරණයට ලක් ව සිටිනවා.

නිමා වූ Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ දී තරග 9කට සහභාගී වෙමින් ඉනිම් 12ක දී ලකුණු 201ක් සහ කඩුලු 19ක් ලබා ගනිමින් පෑ දක්ෂතාත් සමඟින් ඔහුට මෙම තරගාවලිය හා එක් වීමට වරම් ලැබෙනවා.

ඒ අනුව එක් වූ මෙම තරගාවලියේ දී ඔහු තරග 4ක ඉනිම් 6ක දී කඩුලු 17ක් දවා ගනිමින් තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාව ද දක්වනවා. පිතිකරුවෙක් ලෙසින් ද දඹුලු කණ්ඩායමට සක්‍රීය දායකත්වයක් දැක් වූ ඔහු තරග 4ක ඉනිම් 5ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 205ක්. එහි සාමාන්‍ය 41.00ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු එහි දී සමත් වෙනවා.

ඔහු එම තරගාවලිය නිමා කරන්නේ තම පළමු පෙළ තරග දිවියේ මෙතෙක් වාර්තා කරන ලද අර්ධ ශතක ද්විත්වය ම වාර්තා කරමින් වීම විශේෂත්වයක්. ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මංගල අර්ධ ශතකය ගාල්ල කණ්ඩායමට (56) එරෙහි ව වාර්තා කරන ලද අතර ඊට පසු තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහි ව හම්බන්තොට දී පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 78ක් ලබා ගනිමින් තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ද වාර්තා කරනවා.

අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු 5ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 17ක් ද ලබා ගන්නා කවිඳු පතිරත්න පන්දු යැවීමේ දී ප්‍රතිවාදී කොළඹ කණ්ඩායමේ පළමු ඉනිමේ ප්‍රධාන සතුරා බවට පත් වෙමින් ලකුණු 51කට කඩුලු 5ක් දවා ගන්නවා. ඉන් අනතුරු ව 2 වැනි ඉනිමේ දී ද ඔහු කඩුල්ලක් දවා ගනිමින් තරගයේ දී කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

තරගාවලියේ පළමු වටයේ දී ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට කඩුලු 5ක් දවා ගන්නා කවිඳු පතිරත්න තරගාවලියේ පන්දු යවන්නෙක් ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව ද දක්වනවා.

කවිඳු පතිරත්න 2022 වසරේ සිට මේ දක්වා පළමු පෙළ තරග තරග 34කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 775ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 61ක්.

තරගාවලියේ දක්ෂතම පිතිකරු – සදීර සමරවික්‍රම (ගාල්ල)

Best Batsman

ගාල්ල කණ්ඩායම නියෝජනය කළ සදීර සමරවික්‍රම මෙම සම්මානයට හිමිකම් කියන්නේ තරග 3ක ඉනිම් 6ක දී ලකුණු 384ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. ඔහුගේ මෙම ඉනිම් අතර දඹුල්ල කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද ශතකයක් ද ඇතුලත්. එම ඉනිමේ දී නොදැවී ලකුණු 113ක් ලබා ගන්නා ඔහු ඊට පන්දු 169කට මුහුණ දුන් අතර හතරේ පහර 13ක් ද එම ඉනිමට ඇතුලත් කරනවා.

ඊට අමතර ව ඔහු සහභාගී වූ අනෙක් ඉනිම් 5ක ඉනිම් 4ක දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම කැපී පෙණෙනවා. එම දක්ෂතාත් සමඟින් ඔහුගේ මෙම තරගාවලියේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 76.80ක් ලෙසින් තබා ගැනීමට ද සමත් වෙනවා.

තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද සදීර සමරවික්‍රම ගේ නම ලියැවෙනවා. ඔහු ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව 36ක්.

30 හැවිරිදි වියේ පසුවෙන සදීර සමරවික්‍රම මේ දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 9කට, එක්දින ජාත්‍යන්තර තරග 55කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19කට ද සහභාගී වී ඇති ක්‍රීඩකයෙක්.

2017 වසරේ සිට පළමු පෙළ තරග දිවියේ සක්‍රීය ඔහු මේ දක්වා පළමු පෙළ තරග 108කට සහභාගී වෙමින් ඉනිම 176ක දී ශතක 16ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලකුණු 6385ක් ලබා සිටිනවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චමෝද් බට්ටගේ (කොළඹ)

Best Bowlerකොළඹ කණ්ඩායම නියෝජනය කළ චමෝද් බට්ටගේ මෙම සම්මානයට හිමිකම් කියන්නේ තරග 4ක දී කඩුලු 13ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. අඩි 6ක් උසැති දකුණතින් මඳ වේග පන්දු යවන චමොද් බට්ටගේ මෙතෙක් මෙම තරගමාලාවන් හී මෙම සම්මානයට හිමිකම් කී එක ම වේග පන්දු යවන්නායි.

ඔහු මෙම තරගාවලියේ දී ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව වෙන්නේ  මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 43කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඔහු දඹුල්ල කණ්ඩායමට එරෙහි ව අවසන් මහා තරගයේ දී ද කඩුලු 4ක් දවා ගන්නවා.

25 හැවිරිදි වියේ පසුවෙන චමෝද් බට්ටගේ මාතර රාහුල විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා මේ වන විට Ace Capital කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගාවලට එක් වෙනවා.

2022 වසරේ සිට මේ දක්වා පළමු පෙළ තරගවල සක්‍රීය ඔහු මේ වන විට පළමු පෙළ තරග 20කට සහභාගී වෙමින් කඩුලු 34ක් ලබා සිටිනවා.

තරගාවලියේ සුවිශේෂී දක්ෂතා

488 : තරගාවලියේ කණ්ඩායමක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව දඹුල්ල කණ්ඩායම සතු වෙනවා. ඔවුන් මෙම දක්ෂතාව දක්වන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

146 : තරගාවලියේ කණ්ඩායමක් ඉනිමක දී දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ කොළඹ කණ්ඩායමයි. ඔවුන් මෙම අවාසනාවන්ත ඉනිම වාර්තා කරන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

1105 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් වැඩිම ලකුණු වාර්තා කරන්නේ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර දඹුල්ලේ දී පැවැති තරගයේදීයි. එම තරගයේ දී කොළඹ කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 337ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 224ක් ද ලබා ගන්නා ලද අතර ගාල්ල කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 273ක් ද සහ 2 වැනි ඉනිමේ දී කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ද ලබා ගන්නවා.

119 runs : මෙම තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ජයග්‍රහණය වාර්තා කිරීමේ ගෞරවය දඹුල්ල කණ්ඩායමට හිමි වෙනවා. ඔවුන් මෙම දක්ෂතා සිදු කරන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කොළඹ කණ්ඩායමට එරෙහිවයි.

384 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ගාල්ල කණ්ඩායම නියෝජනය කළ සදීර සමරවික්‍රම.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

Player Team Mat Inns NO Runs HS Ave 100 50
1 සදීර සමරවික්‍රම ගාල්ල 3 6 1 384 113* 76.80 1 4
2 අංජල බණ්ඩාර දඹුල්ල 4 6 0 365 128 60.83 1 2
3 ජනිත් ලියනගේ කොළඹ 4 6 0 285 134 47.50 1 1
4 නිශාන් මදුශ්ක දඹුල්ල 2 4 1 256 107* 85.33 1 1
5 ඔෂද ප්‍රනාන්දු ගාල්ල 3 6 0 242 84 40.33 0 1

145 : තරගාවලියේ පිතිකරුවෙක් ඉනිම පෑ ඉහළ ම දක්ෂතාවේ හිමිකාරීත්වය කොළඹ කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් වෙත හිමි වෙනවා. මහනුවර කණ්ඩායමට එරෙහි ව වාර්තා වූ මෙම ඉනිමට පන්දු 338ක් ඇතුලත් වූ හතරේ පහර 10ක් සහ හයේ පහරක් ද ඊට ඇතුලත් වෙනවා.

36x4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ ගාල්ල කණ්ඩායමේ සදීර සමරවික්‍රම.

3x6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් වෙන්නේ දඹුල්ල කණ්ඩායමේ තනුක දාබරේ සහ ගාල්ල කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු.

17 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ දඹුල්ල කණ්ඩායමේ කවිඳු පතිරත්න. ඔහු තරගාවලිය නිමා වන විට තරග 4ක දී කඩුලු 17ක් ලබා ගන්නවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
Player Team Mat Inns Overs Mdns Runs Wkts BBI Ave 4 5
1 කවිඳු පතිරත්න දඹුල්ල 4 6 85.4 12 302 17 5/41 17.76 0 2
2 චමෝද් බට්ටගේ කොළඹ 4 7 78.5 13 270 13 4/43 20.76 2 0
3 අකිල දනංජය දඹුල්ල 4 6 147.4 13 368 13 4/60 28.30 1 0
4 ප්‍රභාත් ජයසූරිය කොළඹ 4 7 160.0 13 494 13 4/54 38.00 1 0
5 ප්‍රමෝද් මදුශාන් කොළඹ 3 5 61.4 10 226 10 4/36 22.60 1 0

5/41 : තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාවේ හිමිකාරීත්වය දඹුල්ල කණ්ඩායමේ කවිඳු පතිරත්න ට හිමි වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

7/70 : තරගාවලියේ පන්දු යවන්නෙක් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව දක්වන්නේ කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දඹුල්ල කණ්ඩායමට එරෙහිවයි.

232 : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව වෙන්නේ කොළඹ කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් සහ ජනිත් ලියනගේ එක් ව මහනුවර කණ්ඩායමට එරෙහි ව දඹුල්ලේ දී 5 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<