වසර 5ක් පමණ පැරණි පන්දුවක් අළුබඳුනේ තීරණයට බලපෑම් කරලා?

The Ashes 2023

4789

2023 අළුබඳුන තරගාවලිය නිමා වී සතියකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති නමුත් තවමත් එම තරගාවලිය අතරතුර සිදු වූ මතභේදකාරී සිදුවීම් ගැන කතා බහ නම් නිමා වී නැහැ.

මේ අතරින් මෙවර අළුබඳුන තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දින දෙක තුළ දී සිදු වූ පන්දු මාරු කිරීමක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, මෙම පන්දුව මාරු කිරීම එංගලන්ත පන්දු යවන්නන්ට විශේෂ වාසියක් අත් කර දුන් බවයි බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ මතය වී ඇත්තේ.

එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ සිව්වැනි දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් ලකුණු 384ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානු ඉනිමේ 37 වැනි පන්දුවාරය Mark Wood විසින් ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Usman Khawajaගේ හිස් ආවරණයේ වැදුණා.

මේ නිසා පන්දුවේ හැඩය වෙනස් වූ බව සඳහන් කරමින් වෙනත් පන්දුවක් ලබා ගැනීමට එංගලන්ත පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබුණු අතර ඒ අනුව තරග විනිසුරුවරයන් ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන සහ Joel Wilson විසින් වෙනත් පන්දුවක් එංගලන්තයට ලබා දුන්නා.

“පැහැදිලිවම Woodගේ පන්දුව මගේ ඔළුවේ වැදුණා. ඒ නිසා පන්දුව පළුදු වූ බව පවසමින් ඔවුන් එය වෙනස් කළා.

මම මේ අළුබඳුන තරගාවලියේ සෑම ඉනිමක්ම (ඕස්ට්‍රේලියාව වෙනුවෙන්) ආරම්භ කරලා තියෙනවා. නමුත් ඒ පන්දුව (මාරු කළ පන්දුව) පිත්තේ වදින විට දැනුණා වගේ තදින් වෙන කිසිම වෙලාවක පන්දුවක් මගේ පිත්තේ වැදුණේ නැහැ.

මම කෙළින්ම කුමාර් ළඟට ගිහින් කිව්වා ‘ඔබ දුන්න මේ පන්දුව කොතරම් පරණ එකක් ද’ කියලා. මොකද මට දැනුණේ එය පන්දුවාර 8ක් පමණක් පරණ වුනු පන්දුවක් වගේ.”

මෙම පන්දුව වෙනස් කිරීම සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩ නැගීමට මූලික වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සහ එම පන්දුවට පළමුව මුහුණ දීමට ද සිදු වූ Khawaja විසින් එම සිදුවීම එසේ විස්තර කර තිබුණා.

ඔහු මෙහි දී අවධාරණය කරන විශේෂිත ම කාරණය වන්නේ අලුතින් ලබා ගත් පන්දුව පෙර තිබූ පන්දුවට හා කිසිසේත් ම සමාන නොවීමයි.

එමෙන්ම හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙකු වන Ricky Ponting විසින් මෙම සිදුවීම පිළිබඳ වහා පරීක්ෂණ ඇරඹිය යුතු බවට ද යෝජනා ඉදිරිපත් කළා.

මේ අතර මෙම පන්දුව මාරු කිරීම සහ ලැබුණු නව පන්දුව අතිශයින් ම වෙනස් එකක් වීම පිළිබඳ Dukes පන්දු නිෂ්පාදනය කරන British Cricket Limited ආයතනයේ හිමිකරු වන Dilip Jajodia විසින් ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

“මෙය මා විසින් ම විමර්ශනය කරනවා. මොකද ඒක මට බලපානවා…

මම මගේ නම පරදුවට තබා වැඩ කරන්නේ. ඒ නිසා පන්දුවේ වරදක් ඇති බවට ඔවුන් වැරදි අවබෝධයක් ලබා නොගැනීම වැදගත්.”

ඔහු විසින් බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන CODE Sport වෙත අදහස් දක්වමින් ඔහු විසින් මේ බව සඳහන් කර තිබුණා.

එමෙන්ම CODE Sport විසින් තවත් විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරමින් සඳහන් කරන්නේ මෙම පන්දුව 2018 හෝ 2019 වසරවල දී නිෂ්පාදිත Dukes පන්දු තොග වලින් එකක් විය හැකි බවයි. නමුත් Jajodia විසින් මේ අදහස බැහැර කරනවා.

“වෙනත් දිනයක් ඇති පන්දුවක් එහි තැබීමෙන් ඔවුන් අවදානමක් ගනී වී කියලා මම නම් හිතන්නේ නැහැ.”

එමෙන්ම ඔහු විසින් මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළේ තමන් නිෂ්පාදනය කරන පන්දු ECB වෙත හෝ ICCය වෙත ලබා නොදෙන බවයි. තමන් නිෂ්පාදනය කරනා පන්දු කෙළින්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙත යොමු කරන බවයි ඔහු විසින් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ සංවාදය නම් තවත් කිහිප දිනක් ම ඇදී යනු ඇති බව විශ්වාස කළ හැකි.

කුමන මතභේදකාරී තත්ව යටතේ වුව ද මේ වන විට 2023 අළුබඳුන තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වී ඇති අතර, එහි අවසන් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම මගින් තම ගෞරවය රැක ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා. එම ජයග්‍රහණය වෙනුවෙන් මෙම පන්දුව හුවමාරු කිරීමට ගත වූ කාලය හේතුවක් වූ බව එංගලන්ත පිතිකරු Zak Crawley විසින් සඳහන් කරනවා.

“එය අපට හොඳ විවේකයක් වුනා, සමහර විට එය තමයි තරගය වෙනස් කරන්නත් ඇත්තේ.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<