LPL තරගාවලියට බංග්ලාදේශ සහභාගීත්වය අවිනිශ්චිතයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

441

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලැයිස්තුගත කර සිටින බංග්ලාදේශ ක්‍රීඩකයන් තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වීමට ලැයිස්තුගතව සිටින ක්‍රීඩකයන් පසුගිය දා නම් කෙරුණා. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් 7 දෙනෙකු ද ඇතුළත් වුනා. ඒ Shakib Al Hasan, Tamim Iqbal, Mahmudullah, Mehidy Hasan, Taskin Ahmed, Liton Das සහ Soumya Sarkar යන ක්‍රීඩකයින්.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව එම ක්‍රීඩකයන් තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී නොවන බව තහවුරු කර තිබුණා. ඒ බංග්ලාදේශ ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි කීපයක් එම කාලය තුල පැවැත්වීමට සැලසුම් කර ඇති නිසාවෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම කාලය තුල බංග්ලාදේශ කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟින් විස්සයි විස්ස තරග 5කින් යුත් තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිතයි. එම තරගාවලිය අගෝස්තු 2 වැනිදා සිට 8 වැනිදා දක්වා බංග්ලාදේශයේ Shere Bangla ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව ඇති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලි කීපයක් සැලසුම් කර ඇති අතර එයට නවසීලන්ත සහ එංගලන්ත තරගාවලියක් ද ඇතුළත් වනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

“අපිට මේ කාලය තුල ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක තරගාවලියක් තියනවා. මේ නිසා බංග්ලාදේශ ක්‍රීඩකයන් මුල් තරග සඳහා සහභාගී වෙන්නේ නැහැ” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ Akram Khan Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“අපි තවත් තරග කීපයක් දැනට සැලසුම් කරලා තියනවා. ඒත් ඒ තරගාවලි අතර යම් කාලයක් තිබුණොත් මේ ක්‍රීඩකයන්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වෙන්න පුළුවන්.” 

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකර වෙනත් විදෙස් තරගාවලි සඳහා එක්වීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නව නීති කීපයක් ගෙන ඇති බව ද Akram Khan අවධාරණය කර සිටියා. 

ඒ අනුව ජාතික කණ්ඩායම සහභාගී වන තරග සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ක්‍රීඩක කොන්ත්‍රාත් වලට ඇතුළත් කර තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු වූ ප්‍රධාන කරුණ වූයේ පසුගිය දා බංග්ලාදේශ කණ්ඩායම මෙරට දී සහභාගී වූ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hassan එම තරගාවලිය සඳහා සහභාගී නොවී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට ගෙන තිබූ තීරණයයි.

එම සිදුවීමෙන් අනතුරුව එරට ක්‍රිකට් ආයතනය විසින් සියලුම බංග්ලාදේශ ක්‍රීඩකයන් සඳහා නව ලිපියක් යොමු කරමින් ඔවුන් ඉදිරි වසරක කාලයක් තුල පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීම පිළිබඳව විමසා තිබුණා. එම ලිපිය සඳහා ක්‍රීඩකයන් ලබා දෙන පිළිතුරු අනුව ක්‍රීඩකයන්ගේ ඉදිරි කොන්ත්‍රාත් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙලෙස ලිපි යොමු කළ ක්‍රීඩකයන් පිළිබඳව මෙතෙක් සඳහන් කර නොමැති නමුත් ක්‍රීඩකයන් 22 හට එලෙස ලිපි යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් ක්‍රීඩකයන් 18 දෙනෙකු මධ්‍ය කොන්ත්‍රාත් සඳහා තෝරාගැනීමට නියමිතයි.

“ක්‍රීඩකයන් හැමෝම සියලුම තරග සඳහා එක්වීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා. අපි ඔවුන්ට දැනුම් දුන්නා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ඔවුන් ඒ සඳහා එකඟ වෙලා තියනවා. ඒ වගේම අවස්ථාවක් තිබුණොත් අපි ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වෙන්න අවසරය ලබාදෙනවා. ඒත් ජාතික කණ්ඩායමට ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනේ” Akram Khan පවසා සිටියා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<