ජේසන් මහනුවර අපරාජිත වාර්තාව රැකගනියි

135

යුධ හමුදා ක්‍රීඩා සමාජය දෙවන අර්ධයේ එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් මිදී ලකුණු 36-26ක් ලෙස යුධ හමුදාව පරාජය කරන්නට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය අද (8) සමත් වුනා. තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

CR ක්‍රීඩකයන් අර්ධ ශතකයකින් ගුවන් හමුදාව පිළිගනියි

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 53 – 15 ක් ලෙස පරාජය කළ …

යුධ හමුදා ක්‍රීඩක අශාන් බණ්ඩාරගේ පා පහරින් තරගය ආරම්භ වුණු අතර 2 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු සුධාරක දික්කුඹුර තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ මහනුවර ක්‍රීඩකයින් මවිත කරමින්. 

ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව සකසා දීමෙන් අනතුරුව පිටියේ කොනෙන් ඔහු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යද්දී ඉසුරු මැදගෙදර අමතර ලකුණු එකතු කළේ අපහසු ස්ථානය සිට අලංකාර ලෙස පන්දුව ගුවන්ගත කරමින්. (යුධ 07-00 මහනුවර)

යුධ ප්‍රහාරයට හොඳ පිළිතුරක් ලබා දෙමින් කවිඳු පෙරේරා 8 වැනි මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා ගියා. යුධ හමුදා ආරක්ෂක වළල්ලෙන් රිංගු ඔහු ගෝල කණු අතරින් පන්දුව බිම තබද්දී තරින්ද රත්වත්ත පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (යුධ 07-07 මහනුවර)

මහනුවර පුහුණුකරු ෆාසිල් මරීජා කණ්ඩායමට අත්දැකීම් බහුල scrum half ක්‍රීඩකයින් වන රොෂාන් වීරරත්න හා ශ්‍රීනාත් සූරියබණ්ඩාර යන දෙදෙනාම එකතු කර තිබුණු අතර සූරියබණ්ඩාර අද ෆ්ලයි හාෆ් ස්ථානයේ ක්‍රීඩා කිරීම කැපී පෙනෙන වෙනසක් වුනා. 

බලාපොරොත්තු වූ පරිදිම ශ්‍රීනාත් සූරියබණ්ඩාර අලංකාර පාද චලනයකින් යුධ හමුදා ක්‍රීඩකයින් අන්දමන්ද කළ අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් ජේසන් දිසානායක තරගයේ දෙවන මහනුවර උත්සාහක දිනුම සම්පුර්ණ කළා. තරින්ද පහසුවෙන් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තා. (යුධ 07-14 මහනුවර)

දෙවන උත්සාහක දිනුමෙන් මිනිත්තු තුනකට පසුව 27 වැනි මිනිත්තුවේ දී බුද්ධිම පියරත්න තවත් උත්සාහක දිනුමක් සඳහා ධවල රේඛාව ඉක්මවා ගියා. ඔහුගේ අලංකාර ධාවනයකට පසුව පන්දුව කවිඳු වෙත යොමු වුණු අතර කවිඳු නවත්වන්නට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් වුනා. 

කෙසේ වෙතත් මහනුවර ක්‍රීඩකයින් ක්ෂණිකව පන්දුව පිටියේ දකුණු පස වෙත එවූ අතර පන්දුව ලබාගත් බුද්ධිම පියරත්න පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියා. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරින්ද හට හැකියාවක් ලැබුණේ නැහැ.  (යුධ 07-19 මහනුවර)

මහනුවර ක්‍රීඩකයින්ගේ දැඩි ප්‍රතිරෝධය හමුවේ 32 වැනි මිනිත්තුවේ යුධ හමුදාව ඉදිරිපෙළ ක්‍රීඩකයින්ට ලකුණු රැස් කරන්නට තිබුණු අවස්ථාවක් ගිලිහී ගියත් 34 වැනි මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩක ධනුෂ්ක තල්වත්ත පිටියේ වම් කොණෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියා. ඉසුරු මැදගෙදර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැහැ. 

36 වැනි මිනිත්තුව වන විට ආබාධ නිසා මහනුවර Wing ක්‍රීඩක කවිඳු පෙරේරා පිටියෙන් ඉවත් වීම ඔවුන්ට දැඩි අවාසියක් වුනා. (යුධ 12-19 මහනුවර)

නැවත තරගය ආරම්භ වීමත් සමඟම තරගයේ පීඩනය නැවත යුධ හමුදාව දෙසට හරවන්නට මහනුවර ක්‍රීඩකයින් සමත් වුනේ තරින්ද රත්වත්තගේ අලංකාර ධාවනයක් නිසයි. 

ඔහු යුධ හමුදා ආරක්ෂක වළල්ල පහසුවෙන් මඟ හැර ගිය අතර දිලුක්ෂ දන්ගේ හා ජේසන් දිසානායක අතර පන්දු හුවමාරුවකින් අනතුරුව ජේසන් දිසානායක සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. එහි ප්‍රවර්තනයත් තරින්ද පහසුවෙන් ගෝල කණු අතරින් ගුවන්ගත කළා.  (යුධ 12-26 මහනුවර)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 26 – 12 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයත් සමඟම ක්‍රියාත්මක වුණු ජේසන් දිසානායක සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේ ප්‍රතිවාදීන් මර්දනය කරමින්. තරගය යුධ හමුදාවෙන් තවත් ඈතට ඇදී ගිය අතර තරගයේ රැඳී සිටීමට නම් යුධ හමුදාවට ඉක්මනින් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වුනා. 

එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර ක්‍රීඩකයින් අතරින් පහසුවෙන් ධාවනයේ යෙදුණු ෆීජී ක්‍රීඩක ටෝමාසු යුධ හමුදාව නැවත තරගයට ගෙන ආවා. ඉසුරු මැදගෙදර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට සමත් වුනා. (යුධ 19-31 මහනුවර)  

60 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර හට කහ කාඩ්පතක් ලැබුණු අතර එහි වාසිය ලබා ගන්නට යුධ හමුදාව අසමත් වෙද්දී යුධ හමුදාවේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වුණු සුධාරක දික්කුඹුර හටත් කහ කාඩ්පතක් හිමි වුනා. 

යුධ හමුදා ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී ලකුණු ලබා ගැනීමට සෑහෙන උත්සහයක් දැරූ නමුත් වටිනා අවස්ථාවල ඔවුන් සිදු කළ අතපසු වීම් නිසා විනිසුරුගෙන් දඬුවම් ලබා පන්දුව ප්‍රතිවාදීන්ට පූජා කිරීමට ඔවුන්ට සිදු වුනා.

නව පණක් ලැබූ නාවිකයෝ පොලිසිය හඬවයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද (2) පැවති තරගයකින් පොලිස් ක්‍රීඩා …

තරගයේ වේගය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු නමුත් අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුව තරිඳු චතුරංග මහනුවර වෙනුවෙන් තරගයේ ජය ස්ථිර කළේ දෙවන අර්ධයේ ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ යුධ හමුදා ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බිඳිමින්. (යුධ 19-36 මහනුවර)  

ෆීජි ක්‍රීඩක ටෝමාසි කක්සාවූ නැවත වතාවක් ක්‍රියාත්මක වුනේ සිය කණ්ඩායමේ සගයින්ගේ සහය නොමැතිව තනිවම උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් කෙසේ වෙතත් ඒ වන විටත් තරගය ඔවුන්ගෙන් ඉවතට ඇදීගොස් තිබුණා. සචින් ගමගේ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (යුධ 26-36 මහනුවර)

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 26 (4T, 3C) – 36 (6T, 3C) මහනුවර ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ 

  • මහනුවර – ජේසන් දිසානායක (3T), තරිඳු චතුරංග (1T), බුද්ධිම පියරත්න (1T), තරින්ද රත්වත්ත (3C), කවිඳු පෙරේරා (1T)
  • යුධ හමුදාව – ටෝමාසි කක්සාවූ (2T), ධනුෂ්ක තල්වත්ත (1T),  සුධාරක දික්කුඹුර (1T), සචින් ගමගේ (1C), ඉසුරු මැදගෙදර (2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<