ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක්!

139

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

එම ආදායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ ලැබූ වැඩිම ආදායම වන අතර එය 2021 වසරේ ලැබූ (බිලියන 2.1) ආදායම මෙන් තුන් ගුණයක් වීම ද විශේෂත්වයක්.

මෙම ශුද්ධ ලාභය ජාත්‍යන්තර තරග, දේශීය තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් යන කොටස් හතර යටතේ උපයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ සිදු කළ ආයෝජන

ජාත්‍යන්තර ක්‍රිකට් – ජාත්‍යන්තර ක්‍රිකට් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4.2ක් ආයෝජන කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ, A කණ්ඩායමේ කනිෂ්ඨ කණ්ඩායමේ, කාන්තා කණ්ඩායමේ දේශීය සහ විදේශීය තරගාවලිවල වියදම් සඳහා මෙම ආයෝජන කර තිබෙනවා.

දේශීය ක්‍රිකට්  – 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශීය ක්‍රිකට් සඳහා රුපියල් බිලියන 2.27ක මුදලක් ආයෝජන කර තිබෙනවා. දේශීය තරගාවලි පැවැත්වීම, ඉහළ කාර්යසාධන මධ්‍යස්ථාන සඳහා, දේශීය ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට මුදල් ගෙවීම සහ පාසල් සඳහා අරමුදල් ලබා දීම වෙනුවෙන් එම මුදල් ආයෝජන කර තිබෙනවා.

සංවර්ධන කටයුතු – දිස්ත්‍රික්, පළාත් සංගම් සහ සාමාජික ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩාංගණ කළමනාකරණය සහ පරිපාලනය සඳහා රුපියල් මිලියන 599ක් ආයෝජන කර තිබෙනවා.

CSR ප්‍රදාන – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීම් වැඩසටහන සඳහා 2022 වසරේ රුපියල් බිලියන 1.2ක් ආයෝජන කර තිබුණා. සෞඛ්‍ය වැඩකටයුතු සඳහා මිලියන 900 (අපේක්ෂා සහ ළමා රෝහලට ලබා දුන් පරිත්‍යාග ඇතුළුව) සහ ජාතික ක්‍රීඩා අරමුදලට මිලියන 287ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා දී තිබෙනවා. තව ද මහනුවර ගංගාරාම විහාරය ඇතුළු ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ද ක්‍රිකට් ආයතනය මිලියන 25ක් ආයෝජන කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ අනෙක් ක්‍රීඩාවන්ට ද නිරන්තරයෙන් උපකාර කළ ක්‍රිකට් ආයතනය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූල්‍ය අනුග්‍රහය සහ එහි ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලබා දුන්නා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<