ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

2275

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට අද (27) තීරණය කර තිබෙනවා.

මෙන්ඩිස් ඒ බව ප්‍රකාශ කරමින් සිය නිල සමාජ මාධ්‍ය ජාලා හරහා මෙසේ සටහනක් තබා තිබුණා.

38 හැවිරිදි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 58ක් සහ විස්සයි විස්ස තරග 22ක් වෙනුවෙන් ක්‍රීඩා කළා.

දකුණු අප්‍රිකාව සමඟ 2019 ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු, 2010 සිට 2019 දක්වා එක්දින කඩුලු 28ක් දවාගෙන තිබෙනවා. ඊට අමතරව විස්සයි විස්ස කඩුලු 12ක් ද ඔහුගේ ජාත්‍යන්තර කඩුලු දඩයමට ඇතුළත්.

එසේම පිතිකරුවෙක් ලෙස ඔහු සමස්ත ලෙස ලකුණු 843ක් ලබාගෙන තිබෙනවා. පළමු පෙළ ක්‍රිකට් පිටියේ ක්‍රිඩා කර තිබෙන තරග 164 තුල ලකුණු 7883ක් ලබාගෙන තිබෙන මෙන්ඩිස් කඩුලු 365ක් දවාලීමට සමත් වී තිබෙනවා. ඉනිමක් තුල ලකුණු 53කට කඩුලු 9ක් දවා ගැනීම ඔහු දක්වා තිබෙන හොඳම පළමු පෙළ පන්දු යැවීමේ දස්කමයි. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඔහු 2000 වසරේ දී ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග බිමට පිවිසි අතර ඔහු අවසානයට නියෝජනය කළේ ටැමිල් යූනියන් කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<