Colombo FCට තියුණු සටනක්; Blue Starට පහසු ජයක්

Super League Pre-Season 2021

276
Colombo FC vs New Youngs FC, Defenders FC vs Blue Star SC

Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවට අදාළව අද (23) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් New Youngs FC සහ Defenders FC කණ්ඩායම් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට Colombo FC සහ Blue Star SC ක්‍රීඩකයන් සමත් වුනා.

Colombo FC – New Youngs FC

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ 19 වැනි මිනිත්තුවේ දී පන්දුව හිසින් ගෝලය වෙත යොමු කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට New Youngs ක්‍රීඩක සංජය සමත් වුනා.

එයට පිළිතුරු ලෙස තරගයේ 29 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා මගහරිමින් අලංකාර ලෙස දැල වෙත එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට Colombo FC ක්‍රීඩක මොහොමඩ් ආකීබ් සමත් වුනා.

තරගයේ 40 වැනි මිනිත්තුවේ දී චරිත රත්නායක විසින් දඬුවම් රාමුවෙන් පිටතට එල්ල කිරීමට උත්සහ දැරූ පන්දුවක් New Youngs ක්‍රීඩක රුමේෂ් මෙන්ඩිස්ගේ ඇඟේ දැවටී ගෝලය වෙත යොමු වීම නිසාවෙන් ගෝල 2-1ක් ලෙස වාසි සහිතව පළමු අර්ධය නිමා කිරීමට New Youngs ක්‍රීඩකයන්ට හැකි වුනා.

වාසිදායක වූ පළමු අර්ධයෙන් පසු පිටියට පිවිසි New Youngs ක්‍රීඩකයන් වෙනුවෙන් තරගයේ 48 වැනි මිනිත්තුවේ දඬුවම් රාමුව ආසන්නයේ දී ලද නිදහස් පහරක් සාර්ථකව ගෝලය වෙත එල්ල කරමින් තරගයේ තෙවැනි ගෝලය වාර්තා කරන්නට New Youngs ක්‍රීඩක තරිඳු ධනුෂ්ක සමත් වුනා.

තවත් පාපන්දු පුවත් කියවන්න: 

දැඩි පසුබෑමෙන් පසු තරගයේ 54 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී පිලේ ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ අතෙහි පන්දුව වැදී දඬුවම් රාමුව තුළ දැවටීම නිසාවෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ දෙවැනි ගෝලය රැස්කිරීමට Colombo ක්‍රීඩක Momas සමත් වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තු කිහිපයකට පසු තරගයේ 58 වැනි මිනිත්තුවේ දඬුවම් රාමුව අසල දී ලද නිදහස් පහරක් සාර්ථකව අවසන් කරමින් තරගයේ ගෝල තත්වය සම කිරීමට Colombo ක්‍රීඩක සර්වාන් ජෝහාර් සමත් වුනා.

නැවතත් තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් රාමුව තුළට ලද පන්දුවක් ගෝලය වෙත එල්ල කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය වූ පරතරය ලබා දීමට Colombo ක්‍රීඩක මොහොමඩ් ආකීබ් සමත් වුනා.

එම ගෝලයෙන් පසු තරගයේ නැවතත් ගෝලයක් රැස්කිරීමට New Youngs ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසාවෙන් ගෝල 4-3ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට Colombo FC ක්‍රීඩකයන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Colombo FC 4 – 3 New Youngs FC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Colombo FC: මොහොමඩ් ආකීබ් 29’ & 64’, Momas Yapo 54’ (P), සර්වාන් ජෝහාර් 58’
  • New Youngs FC: කැලුම් සංජය 19’, රුමේෂ් මෙන්ඩිස් 40’, තරිඳු ධනුෂ්ක 48’

කහ කාඩ්පත ලබා ගත් ක්‍රීඩකයන්: 

  • New Youngs FC: රුමේෂ් මෙන්ඩිස් 

Defenders FC – Blue Star SC

12 වැනි මිනිත්තුවේ දී Blue Star ගෝල රකින්නාගේ අතේ වැදී නැවත පැමිණි පන්දුවක් ගෝලය වෙත එල්ල කරමින් තරගයේ මුල්ම ගෝලය ලබා ගැනීමට Defenders ක්‍රීඩක මධුෂාන් සමත් වුනා.

ආරම්භයේ ලද පසුබෑමෙන් අනතුරුව තරගයෙ 28 වැනි මිනිත්තුවේ දී Blue Star ක්‍රීඩකයෙකු යොමු කරන ලද පන්දුවක් Defenders ක්‍රීඩක Henry Appiahගේ පාදයේ වැදී ගෝලය වෙත යොමු වීම නිසාවෙන් තරගයේ මුල්ම ගෝලය ලබා ගැනීමට Blue Star ක්‍රීඩකයන් සමත් වුනා.

නැවතත් තරගයේ 35 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් ප්‍රතිවාදී ක්‍රීඩකයන් මගහරිමින් ඉදිරියට ගෙන ගොස් දඬුවම් රාමුවේ සිට ඉතා අලංකාර ලෙස ගෝලය වෙත එල්ල කරමින් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය රැස්කර දීමට Blue Star ක්‍රීඩක ශෙනාල් සංදේශ් සමත් වුනා.

එම අර්ධය තුළ තවත් ගෝලයක් රැස්කිරීමට Defenders ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා පළමු අර්ධය Blue Star ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් අවසන් වුනා.

පළමු අර්ධයේ ලද වාසියත් සමඟින් දෙවන අර්ධයට පිවිසි Blue Star ක්‍රීඩකයන් වෙනුවෙන් තරගයේ 52 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට ලැබුණු පන්දුවක් ගෝලය වෙත යොමු කරමින් සිය කණ්ඩායමට තෙවැනි ගෝලය රැස්කරදීමට Blue Star ක්‍රීඩක රිසාන් සමත් වුනා.

එම ගෝලයෙන් පසු තරගය අවසන් වන තුරුම තවත් කිසිදු ගෝලයක් රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා තරගයේ ජය ගෝල 3-1ක් ලෙස Blue Star කණ්ඩායමට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Defenders FC 1– 3 Blue Star SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Blue Star SC: Henry Appiah 28′ (OG), ශෙනාල් සංදේශ් 35’, රිසාන් 52’
  • Defenders FC: මධුශාන් ද සිල්වා 12’

කහ කාඩ්පත ලබා ගත් ක්‍රීඩකයන්: 

  • Defenders FC: කුමාර මෙන්ඩිස් 79’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <