වනිඳුගේ අනාගතය ගැන මුරලිගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

6614
Murali speaks about Wanindu and upcoming T20 World cup

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී පා දඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත්විය හැකි බවත්, වනිඳු හසරංග පිතිකරුවන්ට හිසරදයක් වනු ඇති බවත් හිටපු විශිෂ්ට දඟපන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් විසින් ඉඟි පල කරනවා.

හෙට (17) අරම්භ වීමට නියමිත Legends League Cricket තරගාවලිය වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී, ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දඟපන්දු යවන්නගේ කාර්‍යභාර්ය කෙබඳු විය හැකි ද, යන කරුණ පිළිබඳ හිටපු දඟපන්දු විශිෂ්ටයින් දෙදෙනෙක් වන මුත්තයියා මුරලිදරන් සහ Daniel Vettori විසින් සිය අදහස් පල කර සිටියා.

මෙහි දී අදහස් දක්වමින් මුරලිදරන් විසින් ප්‍රකාශ කළේ, නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 18.88ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 9ක් බිඳ හෙලූ වනිඳු හසරංග ප්‍රමුඛ පා දඟපන්දු යවන්නන්ට ඕස්ට්‍රේලියානු තණතිලිවල දී වැඩි වශයෙන් දස්කම් පෙන්වීමට හැකි වනු ඇති බවයි.

“ඕස්ට්‍රේලියාවේ දී වැඩි වශයෙන් ලබා ගත හැකි පන්දුවේ ඉලිප්පීම (Bounce) නිසා පිට දඟපන්දු යවන්නට වඩා, පා දඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත් වේවී. ඒ නිසා මම හිතන්නේ හසරංගගේ පන්දුවලට මුහුණ දීම පිතිකරුවන්ට තරමක් අපහසුවෙන් කරන්න සිදු වේව්, පිතිකරුවන් ඔහුගෙන් ආරක්ෂා වීමට වග බලා ගත යුතුයි. හැබැයි ඔහුගේ පන්දුවලටත් හොඳින් මුහුණ දෙන පිතිකරුවන් නැතුවාම නෙවෙයි.

ඔහු ඉතාම හොඳ විස්සයි විස්ස පන්දු යවන්නෙක්, ඒ නිසානේ ඔහු Royal Challengers Bangalore කණ්ඩායමටත් ක්‍රීඩා කරන්නේ. ඔහු තවම අවුරුදු 25-26 ක තරුණයෙක්, ඒ වුනත් පහුගිය අවුරුදු 2-3ක කාලය ඇතුළත ඔහු විශිෂ්ට දේවල් කරලා තියෙනවා. මම ඔහු සමඟ වැඩිය කතා බහ කරලා නම් නැහැ, අපි වැඩිය එකිනෙකා මුණ ගැහිලත් නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවෙක් ඉන්නවා, ඔහුත් සමඟ එකතු වෙලා හසරංග තවත් දියුණු වීමට අවශ්‍ය කරුණු කතා බහ කර ගනීවී.”

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටීම නිසා මෙවර ලෝක කුසලානයේ මූලික වටයට ක්‍රීඩා කිරීමට සිදු වී තිබෙනවා. එම වටයේ මුල් කණ්ඩායම් දෙක අතරට තේරී පත් වීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් දොළහේ තරග වටයට අවතීර්ණ වීමේ හැකියාව පවතිනවා. මේ පිළිබඳවත් මුරලි විසින් මෙහි දී අදහස් ප්‍රකාශ කර සිටියා.

“පහුගිය අවුරුදු කිහිපයේ අපිට හිටියේ තරුණ කණ්ඩායමක්, ඔවුන් ටිකෙන් ටික අත්දැකීම් ලබමින් අද වෙද්දී යම් මට්ටමකට එමින් සිටිනවා, ඒ නිසායි මෙවර ආසියානු කුසලානයේ දී ඔවුන් හොඳින්ම ක්‍රීඩා කළේ. එම කුසලානය ඔවුන්ට හිමි විය යුතුයි. ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කළා. නමුත් පසුගිය අවුරුදුවල ඔවුන් ක්‍රීඩා කළ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අවාසනාවන්ත ලෙස ඔවුන්ට ලෝක කුසලානයේ මූලික වටයට (playoffs) ක්‍රීඩා කරන්න සිදු වෙලා තියෙනවා, එහෙම වුනත් ඔවුන් මෙවර ලෝක කුසලානයේ දී ඉතාම හොඳින් ක්‍රීඩා කාරාවි කියලා මම විශ්වාස කරනවා.”

මුරලි එලෙස පා දඟපන්දුව පිළිබඳ විශ්වාසයෙන් සිටිය දී, හිටපු නවසීලන්ත දඟපන්දු යවන්නකු වන Daniel Vettoriට තිබුණේ එම අදහසට පරස්පර අදහසක්. ඔහු පවසන්නේ පිට දඟපන්දු යවන්නන් මෙම තරගාවලියේ දී රජ කරනු ඇති බවයි. නමුත් ඔවුන් දෙදෙනාම එකඟ වන කරුණක් වන්නේ දඟපන්දු යවන්නන්ට පන්දුවේ ඉලිප්පුමේ (Bounce) උපකාරය ලැබෙනු ඇති බවයි.

මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල ක්‍රීඩා කල ටෙස්ට් තරගවල දී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළ ඕස්ට්‍රේලියානු පිට දඟපන්දු යවන Nathan Lyon ගැන සඳහන් කරමින් ඔහු තම විශ්වාසයට හේතු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඒ හේතූන් නිසා එළඹෙන ලෝක කුසලානයේ දී ඉන්දියාවේ Ravichandran Ashwinට විශිෂ්ට දස්කම් පෙන්වීමට වැඩි අවස්ථාවක් පවතින බව ද ඔහු විසින් ප්‍රකාශ කලා.

“අපි දන්නවා Ashwin ටෙස්ට් තරගවල දී ඉතාම හොඳින් පන්දු යවන අයෙක් බව, ඒ වගේම ඔහු පසුගිය IPL තරගාවලියෙත් දස්කම් අතර රැඳුණු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු තරගයේ පවතින තත්වය අනූව අවස්ථානුකූලව හැඩ ගැසිය හැකි ක්‍රීඩකයෙක්, ඔහුට අවස්ථාවක් ලැබුනොත් ඔහු අනිවාර්‍යෙන්ම දන්නවා කළ යුත්තේ කුමක්ද යන වග. ඒ වගේම ඔහුට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරලා අත්දැකීම් පවා තිබෙන ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමේ සමබරතාවය ආරක්ෂා කළ හැකි තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන්නෙක්.”

Vettori එලෙස Ashwin පිළිබඳ සිය විශ්වාසය පල කර සිටියා.

මෙම මාධ්‍ය සාකච්ඡාව නිල වශෙයෙන් පැවැත්වූයේ Legends League Cricket තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට වන අතර අද (16) එම තරගාවලියේ ආරම්භය වෙනුවෙන් India XI සහ a World XI කණ්ඩායම් අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වීමට නියමිත අතර, හෙට දිනයේ දී India Capitals සහ Gujarat Giants කණ්ඩායම් අතර නිල වශයෙන් පළමු තරගය පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස් සහ රොමේශ් කළුවිතාරණ යන අය සහභාගී වීමට නියමිතයි.

හෙට ආරම්භ වන Legends League Cricket තරගාවලිය මෙන්ම, ලබන මාසය මුල දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ද තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<