රවිඳු සහ හරීන් ශා. ඇලෝසියස් ජයග්‍රහණයට මඟ පෙන්වයි

414
U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ අද (28) පැවති තරග සංඛ්‍යාව 2ක්. ඒ අතරින් අති දැවැන්ත ජයග්‍රහණයක පහස විඳින්නට ගාල්ල සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් සමත් වූ අතර තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත් වන්නට සිදුවිය.

පසුගිය ලිපි: ලුම්බිණි, සාන්ත ඇන්තනි ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරයි

ගුරුකුල විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගය සාමාන්‍යයෙන් දෙදින ටෙස්ට් තරගයකදී දක්නට නොලැබෙන අන්දමේ දැවැන්ත ජයග්‍රහණයක් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමිකර දුන් තරගයක් විය. ඔවුන් මෙම තරගය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 34කිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලීය පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය. තම විද්‍යාලය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කල උදාර රවිඳුගේ පිත්තෙන් ලකුණු 80ක් ද, අශින්ත මල්ෂාන්ගේ පිත්තෙන් ලකුණු 47ක් ද ගලා ආවේය. ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ නිදුක මල්සිත් ගුරුකුල පිතිකරුවන් 5ක් දවාලද්දී අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ හරීන් බුද්ධිල කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇලෝසියස් විද්‍යාලය අද උදෑසන තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටි අතර එය දැවැන්ත ලකුණු පුවරුවක් බවට පරිවර්තනය කරන්නට අද ඔවුන්ට අවස්ථාව උදා විය. උදෑසන සිටම වේගවත් දැකුම්කළු පිති හරඹයක නිරත වුනු ඔවුහු කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවන්නට තීරණය කළහ. ඇලෝසියස් ඉනිමේ නැංගුරම බවට පත්වූ රවිඳු සංජන ලකුණු 159ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් විය. නවිඳු නිර්මාල් ලකුණු 41යි.

ඇලෝසියස් විද්‍යාලයට වඩා ලකුණු 110ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ගුරුකුල ක්‍රීඩකයන් සියලු දෙනාම ලකුණු 76ක් තුලදී නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඇලෝසියස් පන්දු යවන්නෝ සමත් වූහ. ප්‍රථම ඉනිමේදී ද දක්ෂතා ප්‍රකට කල හරීන් බුද්ධිල නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් ලකුණු 30ක් පමණක් ලබාදී ගුරුකුල කඩුලු 6ක් ඩැහැ ගැනීමට සමත් විය. මේ අනුව ඔහු තරගය පුරාවට බිඳ හෙලූ කඩුලු ගණන 9ක් බවට පත්විය. අසාර්ථක ගුරුකුල ඉනිම වෙනුවෙන් ප්‍රවීන් නිමේෂ් ලකුණු 23ක් ද, ලසිඳු අරෝෂ ලකුණු 21ක් ද රැස් කරන ලදී.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 230 (පන්දුවාර 83.1)

උදාර රවිඳු 80, අශින්ත මල්ෂාන් 47, දුමින්ද සුධාරක 34, ප්‍රවීන් නිමේෂ් 28, නුවන් චානක 20, නිදුක මල්සිත් 5/27, හරීන් බුද්ධිල 3/80.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 340 (පන්දුවාර 69.4)

රවිඳු සංජන 159, නවිඳු නිර්මාල් 41, අශේන් බණ්ඩාර 37.

ගුරුකුල විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 76 (පන්දුවාර 30)

ප්‍රවීන් නිමේෂ් 23, ලසිඳු අරෝෂ 21, හරීන් බුද්ධිල 6/30, කවිත ඩිල්ශාන් 2/05.


තර්ස්ටන් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි. කෙසේ වෙතත් පළමු ඉනිමේ ජයග්‍රහණයක හිමිකරුවන් බවට පත්වන්නට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බෙනඩික්ට් විද්‍යාලයේ නායකයාගේ ආරාධනයට අනුව පළමුවෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි තර්ස්ටන් පිතිකරුවෝ පන්දුවාර 61කට ක්‍රීඩා කරමින් ලකුණු 256ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. ඒ වන විට දැවී ගොස් තිබූ තර්ස්ටන් පිතිකරුවන් ගණන 8කි. සවන් ප්‍රභාෂ් (75) සහ නිපුන් ලක්ෂාන් (62) අර්ධ ශතක වාර්තා කළ අතර පන්දු යැවීමේදී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් රෙෂාන් කවිශ්ක (4/46) සහ චමිඳු විජේසිංහ (2/35) තර්ස්ටන් කඩුලු 6ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බෙනඩික්ට් පිතිකරුවන්ට තර්ස්ටන් පන්දු යවන්නන් හමුවේ ලබාගත හැකිවූයේ ලකුණු 193ක් පමණි. නමුත් බෙනඩික්ට් විද්‍යාලයේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී මහේෂ් තීක්ෂණ විසින් රැස් කල අගනා ශතකය අද දින කාගේත් පැසසුමට ලක්විය. පන්දු යැවීමේදී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් නිපුන් ලක්ෂාන් (3/40) සහ චරණ නානායක්කාර (3/39) අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ප්‍රථම ඉනිමේ ලකුණු 63ක වාසියත් සමගින් පිටියට පිවිසි තර්ස්ටන් පිතිකරුවෝ දිනය නිමාවන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 83ක් ලබා සිටියහ. සවන් ප්‍රභාෂ් ලකුණු 30ක් රැස්කල අතර තුන් ඉරියව් ක්‍රීඩක කවීෂ ජයතිලක කඩුලු 2ක් බිඳ හෙලන ලදී.

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 256 (පන්දුවාර 61)

සවන් ප්‍රභාෂ් 75, නිපුන් ලක්ෂාන් 62, නිමේෂ් ලක්ෂාන් 24, රෙෂාන් කවිශ්ක 4/46, චමිඳු විජේසිංහ 2/35.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 70)

මහේෂ් තීක්ෂණ 100, කවීෂ ජයතිලක 39, දිනිත බස්නායක 25, නිපුන් ලක්ෂාන් 3/40, චරණ නානායක්කාර 3/39.

තර්ස්ටන් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 83 (පන්දුවාර 21.3)

සවන් ප්‍රභාෂ් 30, ප්‍රගීෂ මෙන්ඩිස් 23*, කවීෂ ජයතිලක 2/29.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට