Mickey Arthur නැවත පාකිස්තානය සමඟ එක්වෙයි!

1599
Sri Lanka's national cricket team head coach Mickey Arthur walks along the Galle Face Green promenade in Colombo on May 22, 2020. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු Mickey Arthur නැවතත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත නමුත් මෙවර ඔහු පුහුණුකරු ලෙස නොව කණ්ඩායම් අධ්‍යක්ෂක ලෙස පාකිස්තාන කණ්ඩායම සමග එක් වනු ඇති බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ධුරය දැරූ Saqlain Mushtaqගේ ධුර කාලය නිමා වීමෙන් පසුව ඒ වෙනුවෙන් ආදේශක පුහුණුකරුවන් සොයන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර දැනුම් දුන්නා.

පසුව ඒ සඳහා PCBය විසින් Mickey Arthur පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරමින් සිටි නමුත්, ඔහු ඒ වන විටත් Derbyshire ප්‍රාන්ත කණ්ඩායම සමඟ දීර්ඝ කාලීනව වැඩ කිරීමේ එකඟතාවකට පැමිණ තිබූ නිසා එම උත්සාහය සාර්ථක වන බවත් පෙනී ගියේ නැහැ.

නමුත් PCBය විසින් දිගින් දිගටම ඔහු Arthur සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරන බව PCB සභාපති Najam Sethi පසුගිය සතියේ ප්‍රකාශ කළ අතර, මෙම වසරේ අප්‍රේල් 01 වැනිදා සිට පාකිස්තාන කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස Mickey Arthur වැඩ භාර ගනු ඇති බවට ඊයේ (30) දිනයේ ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා.

මෙහි දී Arthurගේ වගකීම පුහුණුකරුවකුට වඩා උපදේශකයකුගේ ස්වරූපයක් ගනු ඇති අතර, ඔහුගේ මෙම පත්වීම සමඟින් පාකිස්තාන කණ්ඩායම් කළමනාකාර ව්‍යුහය තරමක් වෙනස් ස්වභාවයක් ගනු ඇති බව ද සැල වනවා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සහභාගී වන සෑම තරගාවලියක දී ම ඔහු කණ්ඩායම සමඟින් නොසිටිනු ඇති නමුත්, තෝරා ගත් පිරිසක් (සහය කාර්ය මණ්ඩලයක්) කණ්ඩායම සමඟ සිටිනු ඇත.

එම සහය කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස (සහය පුහුණුකරු) හිටපු පාකිස්තාන පන්දු රැකීමේ පුහුණුකරු Grant Bradburn කටයුතු කරනු ඇති අතර පන්දු රැකීමට, පිතිකරණයට සහ පන්දු යැවීමට පුහුණුකරුවන් තිදෙනෙකු ද වෙන් වෙන් වශයෙන් සිටිනු ඇත. නමුත් සාම්ප්‍රදායික ලෙස කණ්ඩායමකට සිටින ප්‍රධාන පුහුණුකරුවා තවදුරටත් පාකිස්තාන කණ්ඩායම් කළමනාකාර ව්‍යුහය තුල නොසිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ප්‍රාන්ත ක්‍රිකට් තරග පැවැත්වෙන කාලසීමාවේ Arthur පාකිස්තාන කණ්ඩායම සමඟ නිතර එක් නොවුනත්, එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සහ එවැනි විශේෂ ක්‍රිකට් තරගාවලිවල දී ඔහු පාකිස්තාන කණ්ඩායම සමඟ රැඳෙනු ඇත.

එමෙන්ම මේ සමඟම පාකිස්තාන කණ්ඩායමේ කළමනාකාර ධුරය, PSL තරගාවලියේ Islamabad United කළමනාකාර ධුරය දරන Rehan Ul- Haq හට හිමි වී ඇති අතර මෙම නව ව්‍යුහය අනුව ඔහුගේ කළමනාකාර ධුරය තරමක් පුළුල් එකක් වනු ඇති බවයි වාර්තා වන්නේ. එය බොහෝ විට Arthurගේ කාර්ය මණ්ඩලය ප්‍රධානී භූමිකාවට සමාන වනු ඇති බවයි විදෙස් මාධ්‍ය මගින් වාර්තා සඳහන් කරන්නේ.

මීට පෙර ද 2016-19 කාලසීමාව තුල පාකිස්තාන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Mickey Arthur විසින් අදාළ කාලසීමාව තුල පාකිස්තාන ක්‍රිකට් ඉතාමත් ඉහළ තලයකට ගෙන ඒමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් 2017 ශූරයින්ගේ කුසලානය දිනා ගැනීමට මෙන්ම, ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනට ඒමට ද සමත් වුනා.

නමුත් 2019 එක් දින ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායම දැක්වූ දුර්වල තරග රටාවෙන් පසුව ඔහුට පුහුණුකාරිත්වය අහිමි වුනා.

Arthurගේ මෙම නැවත පැමිණීම බොහෝ විට පාකිස්තාන ක්‍රීඩකයින් ද සතුටු වන අන්දමේ සිදු වීමක් වනු ඇති බව ද මීට පෙර අවස්ථාවල ඔවුන් Arthur පිළිබඳ ලබා දුන් ධනාත්මක අදහස් පිළිබඳ සැලකීමේ දී විශ්වාස කළ හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<