ඉන්දීය ටෙස්ට් නායකත්වයට Kohliගේ නමත් යෝජනා වෙයි!

788

වත්මන් ඉන්දීය ටෙස්ට් නායක Rohit Sharmaගෙන් පසුව නැවතත් හිටපු නායක Virat Kohli හට ඉන්දීය ටෙස්ට් නායකත්වය ලබා දිය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියෙකු විසින් යෝජනා කරනවා. 

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලද පරාජයෙන් අනතුරුව වත්මන් ඉන්දීය නායක Rohit Sharmaගේ නායකත්වය පිළිබඳ වාද විවාද ඇති වුනා.  

එමෙන්ම එළඹෙන ටෙස්ට් ලෝක ශූරතා තරග වාරය වෙනුවෙන් නව නායකයෙකු යටතේ ඉන්දියාව තරග කළ යුතු බවට ද අදහස් ඉදිරිපත් වුනා. එම තරග වාරය නිමා වන විට Sharmaගේ වයස අවුරුදු 38ක් වීමට නියමිත නිසා ඔහු එතරම් කාලයක් කණ්ඩායමේ නායකත්වය දරාවි ද යන ගැට‍ලුවයි මෙහි දී ඉදිරිපත් වූ ප්‍රධානතම තර්කය වුනේ. 

නමුත් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ පවතින තත්වය අනුව නායකත්වය බාර දීම සඳහා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට තරමක් අසීරු වී තිබෙනවා. මීළඟ ටෙස්ට් නායකයා වීමට බොහෝ අවස්ථාව ඉතිරි ව තිබූ වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah ආබාධයකට ලක් වී සිටින අතර, නායකත්වය වෙනුවෙන් තවත් යෝජනාවක් වීමට ඉඩ තිබූ Rishabh Pant ද තවමත් ඔහු මුහුණ දුන් රිය අනතුරින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණේ නැහැ.  

මේ අතර ඔවුන්ගේ තවත් තේරීමක් ව තිබූ KL Rahul දක්ෂතා අතර නොමැති වීම සහ ආබාධ නිසා දැන් කණ්ඩායමෙන් ඉවතට විසි වී තිබෙනවා. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් අනාගතය ලෙස බොහෝ අනුමාන කිරීම් වලට යටත් ව සිටින Shubman Gill පවා තවමත් ඉන්දීය කණ්ඩායමේ සිය ස්ථානය හෝ හරි හැටි තහවුරු කර ගැනීමට සමත් වී නැහැ. 

මෙම වාතාවරණය නිසා ඉන්දීය ටෙස්ට් නායකත්වය නැවතත් හිටපු නායක Virat Kohli හට ලබා දිය යුතු බව හිටපු ඉන්දීය තේරීම් කමිටු සභාපති කෙනෙකු වන MSK Prasad විසින් සඳහන් කරනවා. 

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට නැවතත් Ajinkya Rahaneව නම් කළ හැකි නම් Kohliව ද නැවත නායකත්වයේ පිහිටුවිය හැකි බවට ඔහු විසින් තර්ක කරනවා. 

“මම තේරීම් කමිටු නිලධාරීන්ගේ මනස මොන වගේ ද කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එළඹෙන ටෙස්ට් ලෝක ශූරතා තරග වාරය සමඟ තමයි ඔවුන්ගේ මනස තිබිය යුතු වෙන්නේ.  

Ajinkya Rahaneට පුළුවන් නම් නැවත පැමිණ උපනායකයා බවට පත් වෙන්න, ඇයි Virat Kohliට බැරි? 

නායකත්වය ගැන Kohli හිතන විදිහ ගැන මම දන්නේ නැහැ. තේරීම් කමිටු නිලධාරීන් Rohitගෙන් ඔබ්බට නායකත්වය වෙනුවෙන් කෙනෙක් ගැන හිතනවා නම් එයට Virat විකල්පයක් විය හැකියි කියලා මම හිතනවා.” 

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අත් කර දීමට සමත් වූ නායකයෙකු ලෙස සැලකුම් ලබන Kohli විසින් 2022 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2-1ක් ලෙස ලැබූ ටෙස්ට් තරගාවලි පරාජයෙන් පසු සිය නායකත්වයට සමුදුන්නා 

එමෙන්ම ඊට අමතරව අදාළ කාලය තුළ එවකට BCCI සභාපති ව සිටි Saurav Ganguly සහ Kohli අතර තිබූ සීතල යුද්ධය ද Kohliගේ මෙම නායකත්වයට සමු දීමේ තීරණයට හේතු වූ බව විශ්වාස කළ හැකි. 

කෙසේ වෙතත් නැවත Kohliව නායකත්වයේ පිහිටුවිය යුතු බව Prasad විසින් පමණක් දරන තනි මතයක් නොවීම විශේෂත්වයක්. 

ගිය වසරේ එංගලන්ත තරග සංචාරය තුළ දී මෙන් ම, මෙම වසරේ IPL තරගාවලිය තුළ දීත් Ravi Shastri ප්‍රමුඛ හිටපු ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම Kohliව නැවතත් ඉන්දීය නායකයා ලෙස දැකීමට සතුටු වන බවට යම් ප්‍රකාශ සිදු කර තිබුණා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<