ලංකා T10 තරගාවලියට දින තීන්දුයි!

2231

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ලංකා T10 ක්‍රිකට් ලීගය” මේ වසරේ දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලබනවා.

තරගාවලිය මේ වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අවසානයේ එය දෙසැම්බර් මාසය තෙක් කල් දැමීමට සිදු වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය සහ විදේශීය කැලැන්ඩරය සැලකිල්ලට ගනිමින් තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසුම කාලය ලෙස දෙසැම්බර් මාසය බව තීරණය කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කැලැන්ඩරයට අලුතින් එකතු වන මේ නවතම තරගාවලිය දේශීය ප්‍රමුඛපෙළ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතුව සංවිධානය කිරීමට නියමිතයි.

නවතම ආකාරයේ මුහුණු වරකින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගනිමින් දෙස් – විදෙස් ක්‍රීඩකයින් සමඟින් අත්දැකීම් ලබා ගැනීමට විශාල වේදිකාවක් වනු ඇති බව නොඅනුමානයි.

“මම බොහොම විශ්වාසයෙන් යුතුව කියනවා මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි තවත් සාර්ථක පරිච්ඡේදයක් වේවි කියලා සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නවමුතා සමඟ මුසුවෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මේ තරගාවලිය බෙහෙවින් උපකාරී වේවි,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළා.

තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 6ක් සහ කාන්තා කණ්ඩායම් 4ක් ඇතුළත් වන අතර එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනු ඇති අතර ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද එකතු කර ගත හැකි.

තරගාවලිය තරග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ කිහිපයක දී දිවා – රාත්‍රි ලෙස පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<