විශ්‍රාම ගිය දෝනි මීළඟට මොනවා කරයි ද?

358
(indianexpress)

විශ්‍රාම ගිය මහේන්ද්‍ර සිං දෝනි සිය විවේක කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දීය යුධ හමුදාව සමඟ ගත කරනු ඇතැයි ඔහුගේ මිතුරු හා ව්‍යාපාරික සගයෙකු වන අරුන් පාන්ඩේ පවසා සිටිනවා.

පාන්ඩේ පවසා සිටියේ දෝනි තමන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කිරීමට සිටියේ 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව වුනත්, මේ වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණු එම තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීම නිසා දෝනි කළින්ම තමන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළ බවයි.

“මම කළින්ම දැනන් හිටියා ඔහු ඉක්මනින්ම විශ්‍රාම ගනියි කියලා. නමුත් මම හරියටම කාලවකවානු දැනගෙන සිටියේ නැහැ. කොහොම වුනත් ඒක තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ එයාටයි. ඔහු IPL සඳහා පුහුණුවීම් ආරම්භ කළා. එ්ක කල් ගියා. ඊට පස්සේ ලෝක කුසලානයත් කල් ගියා. ඔහු කළින්ම මනස නිදහස් කර ගන්න සිතුවා වෙන්න පුළුවන්” පාන්ඩේ PTI වෙත පවසා තිබුණා.

“අගෝස්තු 15 යුධ හමුදාවට වටිනා දිනයක්. ඔහු මේ දේවල් ගැන හිතන්න ඇති. විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීම මේකට ලොකු හේතුවක්. මොකද ඔහු ඒකට සැලසුම් සකස් කරමිනුයි හිටියේ.”

තවත් ක්‍රිකට් පුවත්:

දෝනි හට ඉන්දීය යුධ හමුදාවට පමණක් දෙවැනි වන Territorial Army හි ගෞරව තනතුරක් තිබෙනවා. දෝනි එහි ලුතිනන් කර්නල්වරයෙක් ලෙස කටයුතු කරන අතර 2019 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පරාජය වීමෙන් අනතුරුව ඔහු එම හමුදාවේ පැරෂුට් රෙජිමේන්තුව සමඟ මාසයකට වඩා කාලයක් කටයුතු කළා.

“එක දෙයක් ස්ථිරයි. ඔහු යුධ හමුදාව සමඟ ගොඩක් ළඟින් කටයුතු කරයි. ඔහු ඔහුගේ ව්‍යාපාර වගේම අනෙක් වැඩ කටයුතුවලටත් ගොඩ කාලයක් යොදවයි” බොහෝ විට ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔවුන්ගේ නාමික අගයන් අඩු වන නමුත් පාන්ඩේ පවසා සිටින්නේ දෝනිට නම් එසේ සිදු නොවනු ඇති බවයි.

“ලෝක කුසලානය නිමා වීමෙන් පසුව අපි නව සන්නාම 10ක් සමඟ ගිවිසුම්ගත වුනා. ඒ අගය දිගින් දිගටම වැඩි වෙනවා. දෝනි කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කෙනෙක් විතරක් නෙවෙයි. ඔහු තමයි තාරුණ්‍යයේ සංකේතය. ගොඩක් ක්‍රීඩකයින් විශ්‍රාම ගත්තම ලොකු බලපෑමක් තිබෙනවා. නමුත් දෝනි ගැන හිතනකොට එහෙම බලපෑමක් නැහැ. ඔහු දේවල් දිනා දුන්නේ කණ්ඩායමට හා තමන්ගේ රටටයි” පාන්ඩේ පවසා සිටියා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<