23 වසරකට පසු මී. 400 පෙරළිකාරිය “නදීෂා”

2232

මේ ජයග්‍රහණය වෙනුවෙන් මම වසර 4ක පමණ කාලයක් විශාල ලෙස වෙහෙසක් දැරුවා. 2019 අවුරුද්දේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මට තරගය නිමා කරන්න ලැබුණේ 6 වැනි ස්ථානයට.  

ඒක මට විශාල ලෙස බලපෑවා. ක්‍රීඩාවෙන් ඉවත් වීමට තරම් එම පරාජය මාව දුර්වල කළා. නමුත් පස්සෙ මට හිතුණා මෙතැනින් තමයි පටන් ගන්න ඕන කියලා. මට දුවන්න විතරයි පුළුවන්. මම ඒ වෙනුවෙන් මහන්සි වුනා. සතුටුයි. අවුරුදු 23කට පස්සේ මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි.”  

මෙරට මලල ක්‍රීඩා වංශ කතාවේ මීටර් 400 කාන්තා ඒකල ජාත්‍යන්තර තරග ඉසව්වේ පරිච්ඡේදයට වසර 23කට පසුව රන් පදක්කමක් එක් කළ නදීෂා රාමනායක ThePapare.com සමඟ පැවසුවා. 

29 හැවිරිදි වියේ පසුවෙන නදීෂා, තායිලන්තයේ බැංකොක් නුවර දී 24 වැනි වරටත් පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තම ඉසව්ව තත්පර 52.61ක කාලයක් වාර්තා කරමිනුයි මෙම පදක්කම දිනා ගන්නේ. එය ඇයගේ එම ඉසව්වේ හොඳම තරග නිමා කළ කාලයයි.  

ඊට පෙර මෙම ඉසව්වේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් ලෙසින් රන් පදක්කමක් දිනා ඇත්තේ 2000 වසරේ ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී පැවති 13 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී. ඒ දමයන්ති දර්ශා විසිනුයි. ඇය ඊට වැය කළ කාලය තත්පර 51.05ක් වූ අතර එය මේ දක්වා ආසියානු වාර්තාවක් ලෙසින් රැඳී තිබෙනවා.

තරගාවලියට සහභාගී වෙද්දී හැම කෙනෙක්ගෙ ම බලාපොරොත්තුව, තරගාවලිය හොඳින් කිරීම සහ පදක්කමක් දිනා ගැනීම. නමුත් මම ඊට ටිකක් එහාට ගියා. මම හිටියේ පදක්කමක් කියන දේකින් සෑහීමකට පත් වීම නෙමේ. ඒක රන් පදක්කමක් කියන තැනමයි. ඒ වෙද්දී ඊට මගේ පසුබිම සැකසී තිබුණා. ඒ තරම් විශ්වාසයක් මට තිබුණා.” 

නදීෂා නිමා වූ ශූරතාවලියේ දී මෙම පදක්කමට අමතර ව මීටර් 400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ දී ලක්ෂිමා මෙන්ඩිස්, නිශේන්ද්‍රා හර්ෂණී ප්‍රනාන්දු සහ තරුෂි දිසානායක සමඟ එක් වෙමින් රිදී පදක්කම ද සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ දී අරුණ දර්ශන, තරුෂි දිසානායක සහ කාලිංග කුමාරගේ සමඟ එක් වෙමින් එම ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුනා.   

මේ ජයග්‍රහණ පිටුපස අධිෂ්ඨානය, කැපවීම සහ නිරන්තර පුහුණුවීම් වැනි කාරණා තිබුණා. ඒ වගේ ම මගේ පුහුණුකරු බුද්ධික තුෂාර සර්, වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමය සහ මගේ ගෙදර සියලුම දෙනාමත් ඉන්නවා. ඒ වගේ ම රිට්ස්බරි (Ritzbury) ආයතනයත් සිටිනවා. ඒ සියලු දෙනා නිරන්තරයෙන් මාව ධෛර්යමත් කරමින් මගේ ඉලක්ක කරා යෑමට මාව මෙහෙයවූවා. ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මගේ පාසල් ගුරුතුමිය තුෂාරි ප්‍රියදර්ශනී වික්‍රමසිංහ මිස්වත් මේ අවස්ථාවේ දී සිහිපත් වෙනවා. ඇය තමයි මාව මේ තැනට ගේන්න මුල් ම අඩිතාලම දැම්මේ.” 

නදීෂා  පවුලේ සමීපතමයන් සමඟ. 

නදීෂාගේ ගම වීරකැටිය ප්‍රදේශයේ ගෝනදෙනිය කියන උප ග්‍රාමය. අයියා ජානක සහ දිනූෂි සහ මහේෂිකා යන සහෝදරියන්ගේ වැඩිමලා වුන නදීෂා කුඩා කාලයේ දඟකාරකමින් ඉව-වහා ගියපු දරුවෙක් කියල තමයි කියන්නේ. 

පාර-තොටට ගියත් හැල්මේ දුවන එක තමයි ලු නදීෂාගේ චර්යාව. දුවන්න තැනක් නැත්නම් අඩු ම තරමේ ගේ වටේ හරි දුවනලු. මේ දිවිල්ලට යම්තම් හරි-හමන් අඩිතාලමක් වැටෙන්නේ පාසල් යන්න පටන් ගත්තට පස්සේ.  

මම මුලින් ම පාසල් යන්නේ ගෝනදෙනිය මහා විද්‍යාලයට. පාසල් හිටපු තුෂාරි ප්‍රියදර්ශනී මිස් තමයි මාව දුවන ඉසව්වලට තෝර ගත්තේ. මුලින් ම පාසලේ නිවාසාන්තර තරගවල දිව්වා. ඒ දවස්වල නම් ඔය අහුවෙන ඉසව්වක් කළා. මීටර් 400, 800 සහ 1500 වගේ ඔය හැම එකක් කළා.  

කොහොම හරි මිස් එක්ක පළාත් තරඟවලට පවා ගියා. ඒත් එම තරගවලින් ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. හරි පුහුණුවකින් තරගවලට සහභාගී වෙන්න ඕන කියන හැඟීමක් තිබුණෙත් නැහැ. ඒ සහභාගී වූ තරගවලට පවා සහභාගී වුනේ මිස්ගෙ උවමනාවට,” නදීෂා තමන්ගේ මලල ක්‍රීඩා දිවියේ ආරම්භය සිහිපත් කරමින් අතීතයට ගියා.  

නදීශා , පුහුණුකරු බුද්ධික තුෂාර මහතා සමඟ

කොහොම වුනත් නදීෂාගේ මේ දිවිල්ලේ යම් රිද්මයක් තියෙන්නට ඇති. ඒ නිසා ම තුෂාරි ප්‍රියදර්ශනී මහත්මියත් නදීෂාව අත හරින්නේ නැහැ. මලල ක්‍රීඩා තරග තියෙන්නෙ කොතැන ද ඇය නදීෂාව ද කැන්දාගෙන ඒ තරගවලට සහභාගී වෙන්න යනවා. එහෙම සිටිද්දී තමයි මේ වෙද්දීත් නදීෂාගේ පුහුණුකරු වන බුද්ධික තුෂාර මහතා යටතට නදීෂා යොමු වෙන්නේ. 

මම 11 වසර වෙනකම් ම ගියේ ගෝනදෙනිය විද්‍යාලයට. පසුව ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ම වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ ආවත් අවුරුදු 2ක් විතර යන තුරු හරියට ක්‍රීඩාව කරගෙන ගියේ නැහැ. පුහුණුවීම්වලට යනවා. නතර වෙනවා. ආයිමත් යනවා. ඒ වගේ. මේ නිසා සර්ගෙන් අනන්තවත් බැනුම් ඇහුවා. ඒත් ඉතිං මගේ වෙනසක් සිදු වුනෙත් නැහැ.” 

එලෙස පුහුණුවීම්වල යාම්-ඊම් කරද්දී 2010 යෞවන ක්‍රීඩා උළෙලේ දී නදීෂා පෑ දක්ෂතා අනුව යමින් තුෂාර බුද්ධික මහතාගේ දැඩි බලකිරීම මත ඇය ස්ථීරව ම ක්‍රීඩා පුහුණුවීම්වලට යොමු වෙනවා.  

එලෙස පුහුණුවීම් පටන් ගත්ත මම 2012 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඒක තමයි සමස්ත ලංකා තරගයක මගේ පළමු පදක්කම වුනේ. ඒ පදක්කම මට මලල ක්‍රීඩාව දිගට ම කරගෙන යන්න උත්තේජනයක් ගෙනාවා. මම නොකඩවා පුහුණුවීම්වලට යෑමටත් සහ මලල ක්‍රීඩාවෙන් සිහින දැකීමටත් ඒ පදක්කම බලපෑවා.” 

ඒ අනුව නදීෂා සමස්ත ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 බාලිකා ඉසව්වේ 2013 වසරේ සිට 2016 වසර දක්වා වසර 4ක් රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඒ අතරින්   2016 වසරේ තරගාවලි වාර්තාව ද තමන් සතු කර ගැනීමට ඇය සමත් වෙනවා.  

ඒ අනුව ඇය ඒ වසරේ ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ද සුදුසුකම් ලබා ගන්නවා. එය ඇයගේ ප්‍රථම ශ්‍රී ලංකා නියෝජනය මෙන් ම විදෙස් තරගාවලිය ද වූ අතර එහි දී ඇය මීටර් 800 රිදී පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.  

පාසලේ සිටි අවසන් අවුරුද්ද වෙද්දී මලල ක්‍රීඩාව මගේ ඇඟට බද්ද වෙලා තිබුණේ. ඉන් එහා දෙයක් ගැන හිතුනෙ නැහැ. ඒත් ඉතිං, ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට තරම් වත්කමක් තිබුණේ නැහැ. දිනෙන් දින මගේ ජයග්‍රහණ සහ දක්ෂතා වැඩි වෙද්දී ඒ වගේ ම අඩු-පාඩු ගැනත් දැනෙන්න ගත්තා. මුල් කාලේ දුවනවා වගේ නෙමේ අවශ්‍යතා වැඩි වුනා.” 

නදීෂාගේ පවුලේ ආර්ථිකය රැඳී තිබුණේ පියා වූ ආර්. දයානන්ද මහතාගේ ගොවිතැන මතයි. අම්මා වී. ජී. විමලාවතී මහත්මිය ගෙදර කටයුතු කෙතරම් කළමනාකරණ කරන්න උත්සාහ කළත් දියණිය, නදීෂාගේ ක්‍රීඩා අවශ්‍යතා ඉදිරියේ ඔවුන් අසරණ වූ අවස්ථා අනන්තයි. 

ගෙදර මොන අඩුපාඩු තිබුනත් ක්‍රීඩා අවශ්‍යතාවල හිඟයක් කරන්න තාත්තත් අම්මත් කැමති වුනේ නැහැ. ඔවුන් දෙදෙනා හැම දෙයක් ම උපරිමයෙන් කළා. නමුත් මේක විශාල ලෙස මට බලපෑවා. මට අවශ්‍ය වුනේ ඔවුන්ගෙන් යැපෙන්න නෙමේ. ඔවුන්ට යමක් දෙන්න. ඒක රැඳී තිබෙන්නේ මගේ මලල ක්‍රීඩාව මත. ක්‍රීඩාවත් කරන ගමන් අම්මටත් තාත්තටත් සලකන්නයි මට අවශ්‍ය වුනේ 

ඒ නිසා ම මම පාසලෙන් ඉවත් වෙනවත් සමඟ ම යුද හමුදා ක්‍රීඩා ඒකකට බැඳෙන්න තීරණය කළා. එතැනින් තමයි මාව නියමාකාරයෙන් වැඩෙන්න ගත්තේ. මගේ අනාගතය රැඳී තිබෙන්නේ යුද හමුදා මලල ක්‍රීඩාවත් සමඟින් කියන හැඟීමෙන් මම මෙතැනට ආවේ. ඇත්තට ම ඒක අද වෙන විට සැබෑවත් වෙලා තිබෙනවා. මේ ගමනේ දී මට සහයෝගය දැක්වූ යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිතුමා ඇතුළු සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කරනවා,”  නදීෂා පවසනවා.  

ඒ අනුව එලෙස යුද හමුදාව හා එක් වූ නදීෂා, ඊට ප්‍රතිගෞරවයක් ලබා දෙන්නේ 2017 ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 සහ මීටර් 800 ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා දෙමින්.  

ඊට පසුව බෲනායි විවෘත මලල ක්‍රීඩා උළෙලට සහභාගී වෙන නදීෂා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නවා.  

ඒක තමයි මගේ මීටර් 800 ඉසව්වේ අවසන් තරගය. ඊට පස්සේ මම මීටර් 400 ඉසව්වට යොමු වුනා. ඒකට විශේෂ හේතුවක් වුනේ, මීටර් 400 ඉසව්වේ මගේ නිමා කළ කාලය ඉහළ තත්ත්වයක පැවතීම.” 

ඒ අනුව මීටර් 400 ඉසව්වේ ඇය සහභාගී වන පළමු තරගාවලියේ දී ම රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඒ 2018 තායිලන්ත විවෘත තරගාවලියයි. එම තරගාවලියේ මීටර් 200 රිදී පදක්කම ද ඇය සතු වුනා. 

අනතුරුව කටාර් හී පැවති 2019 ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී ඇය තම ඒකල ඉසව්වෙන් 6 වැනි ස්ථානය දිනා ගනිද්දී මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ දී නිමාලි ලියනාරච්චි, උපමාලිකා රත්නකුමාරි සහ ඩිල්ෂි කුමාරසිංහ එක් ව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින්  රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.  

එම වසරේ ම චීනයේ පැවති ආසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී පළමු අදියරේ දී රිදී පදක්කමත් සහ දෙවැනි අදියරේ දී ලෝකඩ පදක්කමත් ඇය සතු වුනා. අනතුරුව චීනයේ පැවති ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී 7 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඇය සමත් වුනා.  

ඊට පස්සේ නේපාලයේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුනත්, මට ඩෙංගු හැදුණා. එහේට ගිහිල්ලා දෙවැනි දවසේ සිට ම මට ඉන්න වුනේ රෝහල් ගතව. ඒ නිසා මට එම තරගාවලිය අහිමි වුනා. ඊට පසුව කොරෝනා තත්ත්වය නිසා පුහුණුවීම් පවා අහිමි වුනා.” 

එම තත්ත්වයන් යටපත් වුන විගස පැවති ඉන්දියන් විවෘත මලල ක්‍රීඩා උළෙලට සහභාගී වූ නදීෂා ඉන් 5 වැනි ස්ථානය දිනා ගන්නවා. ඉන් අනතුරුවයි ඇය තම තරග දිවියේ ඉහළ ම පදක්කම දිනා ගන්නේ.  

බොහොම දුර ගමනක මේක එක් ජයග්‍රහණයක් පමණයි. මේ ජයග්‍රහණය මත මගේ සිහින නතර වෙන්නේ නැහැ. තවත් දුර ගමනක් යන්න ඕන. ඉදිරියේ දී ආසියානු තරග එනවා. ඒකත් හොඳට කරන්න ඕන. ඒ වගේ ම ඔලිම්පික් දුවන්න ඕන. ඒ සිහිනවල සැරි සරමින් මම මගේ පුහුණුවීම් කටයුතු කරනවා,” නදීෂා රාමනායක ThePapare.com සමඟ පැවසුවා 

මලල ක්‍රීඩා දිවියේ දිගු ගමනක් යෑමට නදීෂා රාමනායකට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<