ආරම්භය දියාරු කළ මැදපෙළ ගැටලුව නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020

80
Sri Lanka Women's Cricket

2020 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (21) දිනයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය අද (22) දිනයේ නවසීලන්තයට එරෙහිව පර්ත් හිදී පැවති අතර එම දිවා/රාත්‍රී තරගයෙන් කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. 

චමරි – ශෂිකලා සුසංයෝගය ඉදිරියේ ප්‍රබල එංගලන්තය දණ නමයි!

ළඟ ළඟම එන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකා සොෆී ඩේවින්ගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස්කර ගන්නා ලදි. එහිදී පළමු කඩුල්ල සඳහා හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු පන්දු 46ක් තුළ වේගවත් ලකුණු 60ක සබඳතාවයක් ගොඩ නංවමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ. 

කෙසේ නමුත් ලකුණු 20ක් රැස්කර ගෙන සිටි හසිනි පෙරේරා සහ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ චමරි අතපත්තු ලකුණු 41කට පළමු කඩුලු 2ක ලෙස පිටියෙන් ඉවත් වූ පසුව පිටියට පැමිණි පිතිකාරිණියන් හට ඔවුන්ගේ වගකීම නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වීම නිසාවෙන් ලකුණු 150කට පමණ යාමට හැකිව තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 127කට සීමා විය. 

මැදපෙළ දියාරු වූ ශ්‍රී ලංකා ඉනිමේ ගෞරවය තරමක් හෝ රැකගත් කණ්ඩායමේ උප නායිකා හර්ශිතා මාධවී නොදැවී පිතිකරණයේ නිරත වෙමින් පන්දු 26ක් තුළ ලකුණු 27ක් වාර්තා කර ගත්තාය. එම ඉනිම සඳහා එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ අතර අතපත්තුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 128ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දු 14ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දකුණතින් පිතිකරණයේ නිරත වන සොෆී ඩේවින් පන්දු 55ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 75*ක් රැස් කරමින් සිය කණ්ඩායම තරගාවලිය ආරම්භයේම ජයග්‍රහණය කරා ගෙන ගියාය. 

කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට

සුසී බේට්ස් (ලකුණු 13) සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 40ක සබඳතාවයක් ගොඩ නැගූ ඩේවින්, ඉන් නොනැවතී මැඩී ග්‍රීන් (ලකුණු 29) සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36ක දී ලකුණු 61ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගීමටද සමත් විය. පන්දු 20ක දී වාර්තා වූ ග්‍රීන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2කින් අලංකාරවත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වූ හේලි ජෙන්සන් ලකුණු 16කට කඩුලු 3ක් ද, ඇමීලියා කේර් ලකුණු 21කට කඩුලු 2ක් ද දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකාරිණියන් මෙල්ල කළාය. 

ශ්‍රී ලංකාව : 127/7 (20) චමරි අතපත්තු 41, හර්ෂිතා මාධවී 27*, හසිනි පෙරේරා 20, හේලි ජෙන්සන් 3/16, ඇමීලියා කේර් 2/21. 

නවසීලන්තය : 131/3 (17.4) සොෆී ඩේවින් 75*, මැඩී ග්‍රීන් 29. 

මෙවර කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මෙම මස (පෙබරවාරි) 24 වනදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට නම් එම තරගය ජය ගැනීම දෙපිළටම ඉතාමත් වැදගත් වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<