රජු වෙනුවෙන් දැල් වූ පහන්

941
Candles to Pele, the king
Courtesy - ITV

රොනාල්ඩෝ නසරියෝ, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලියොනල් මෙසී, සිනෙඩින් සිඩාන් ආදී ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් බව අවිවාදාත්මක ය.

එහෙත් ඒ සියලු දෙනා මැදත් වඩාත් දිදුලන, ලෝක කුසලාන තුනක හිමිකරු, එඩ්සන් නසිමෙන්තෝ හෙවත් “පේලේ” ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා බව දිගුකාලීන පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ බහුතර මතයයි. 82 හැවිරිදි වියේ දී පේලේ සිය ජීවිත ගමනට සමුදීම ඔහුගේ නිජබිම වූ බ්‍රසීලයටත්, සමස්ත පාපන්දු ප්‍රජාවටත් කම්පාව දනවන පුවතක් විය.

ඔහුගේ මරණයෙන් දිනක් ගතවෙද්දී බ්‍රසීලයේ නාගරික ගොඩනැගිලි මත පේලේගේ රුව සහිත විදුලි එළි දැල්විය. මං සලකුණු ද ඔහුගේ රුවින් හැඩ විණි. ප්‍රේක්ෂකයන් පේලේගේ අංකය වූ අංක 10 සහිත ඓතිහාසික ජර්සි පැළඳ මහමඟට බැස සිටියේය.

බ්‍රසීල රජය විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලදි. මින් පෙර අවසන් වරට එහි ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ එලිසබෙත් මහ රැජිණගේ වියෝව වෙනුවෙනි. බ්‍රසීලයට සිටි ආසන්නතම රාජකීයයා පේලේ ය.

බ්‍රසීලයේ පුවත් පත් සියල්ලේම මුල් පිටු පේලේගේ රුවින් හැඩ වී තිබුණි. එක් පුවත්පතක ශීර්ෂ පාඨය වූයේ “පේලේ මියගියේය, ඇත්තෙන්ම පේලේට මිය යා හැකි නම්” යන්නයි. ඇයි ද කියතොත්, බ්‍රසීල පාපන්දු ප්‍රේක්ෂකයන්ට නම් “සදාතනික පාපන්දු රජු” ඔහු වීම නිසයි.

පේලේගේ මරණය සැල වීමෙන් පසුව මහජනයා සාඕ පවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහල ඉදිරිපිටට රැස්විය.

මහා බඩවැලේ පිළිකාවක් හේතුවෙන් පේලේ 2021 වසරේ සිට ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහුගේ රෝගී තත්වය නරක අතට හැරෙද්දී පාපන්දු ප්‍රේක්ෂකයන් ඔහුගේ පාපන්දු දිවි සැරිය පිළිබඳ වැඩි වශයෙන් කතා බහ කරන්නට විය. මේ වන විටත් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිමා වී සති දෙකකි.

බොහෝ දෙනා පවසන පරිදි ඔහුගේ වේදනාව අවසන් විය. එහෙත් ඔහුගේ නික්ම යාම පාපන්දු ලොවට දැනෙන පාඩුවක් වනු ඇත.

සාඕ පවුලෝහි ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිට පේලේගේ වර්ණවත් රූ ප්‍රදර්ශනයක් නරඹමින් සිටි පුද්ගලයෙකු පේලේගේ නික්ම යාම ගැන BBC වෙත අදහස් පළ කළේය.

“ඒ අහිමි වීම ගැන අපි මේ වෙලාවේ හිතන දේවල් ගැන විස්තර කරන්න බැරි තරම්”, ඔහු පැවසීය.

දිනක් ඇතුළත සාඕ පවුලෝහි පාපන්දු කෞතුකාගාරයේ දී පේලේගේ පාපන්දු දිවි සැරිය පිළිබඳ ප්‍රදර්ශනයක් පැවැත්විණි. 1970 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගෝල 4-1ක් ලෙස ජය ගත් බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ පේලේ හැඳ සිටි නිල ජර්සිය ද එහි දී ප්‍රදර්ශනය විය. එය පේලේ විසින් ජය ගත් තෙවැනි ලෝක කුසලානය වේ.

“අපට ඔහු ජාත්‍යන්තර සලකුණක් බවට පත්වූ ජාතික සලකුණක්. අපේ රට ලෝකේ හැම කොණකටම අරගෙන ගියපු”, රමුලෝ ඩයස් සිය බිරිඳත් දරුවන් තිදෙනාත් සමඟින් පේලේගේ රූ ප්‍රදර්ශනය නැරඹීමට විත් එලෙස අදහස් පළ කළේය.

“බ්‍රසීලයට රාජාණ්ඩුවක් නෑ තමයි. ඒත් පාපන්දු වලින් අපට රජෙක් ඉන්නවා”, ඔහු පැවසීය.

පේලේ ක්‍රීඩා කළ සැන්ටෝස් කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ කොරින්තියන්ස් කණ්ඩායම වෙනුවෙන් සහාය පළ කරන සංගමයක නිර්මාතෘවරයාගේ පුත් ආන්ද්‍රේ මොරේනෝ පැවසුවේ පේලේ ක්‍රීඩා කරන විට ප්‍රතිවාදීන් සෑම විටම පාහේ පරාජය ලැබූ බවයි.

පේලේ ක්‍රීඩා කරන සමයේදී
පේලේ ක්‍රීඩා කරන සමයේදී (Courtesy – sportscrunch.in_

“පේලේ සහ ඔහුගේ උරුමය සදාකාලිකයි. ඔහුගේ කාලයේ දී ඔහු දිනා ගත්තු පාපන්දුත් එක්ක, හිතන්න අද තියෙන තාක්ෂණය එක්ක ඔහුට කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයි ද කියලා”, මොරේනෝ පැවසුවේය.

මතකාවර්ජනයන් දෝරේ ගලද්දී බ්‍රසීල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර් ද පේලේ ගැන මෙසේ පැවසුවේය.

“පේලේට කලින් පාපන්දු කියන්නේ ක්‍රීඩාවක් විතරයි”

“පේලේ හැමදේම වෙනස් කළා. ඔහු පාපන්දු ක්‍රීඩාව කලාවක් හැටියට, ප්‍රාසාංගික දෙයක් හැටියට වෙනස් කළා. ඔහු දුප්පතුන්ට, කළු ජාතිකයන්ට හඬක් වුනා”

නේමාර්ගේ පැරිස් සෙන්ට් ජර්මේන් පාපන්දු සගයා, ප්‍රංශ පාපන්දු තරුවක් වන කිලියන් ම්බාපේ පේලේ ගැන පැවසුවේ මෙසේයි.

“පේලේගේ උරුමය කවදාවත් අමතක නොවේවි”

වසර 21ක පාපන්දු දිවියක දී රැස්කළ වාර්තාගත ගෝල 1,281ක් පේලේ සතු විය. බ්‍රසීලය වෙනුවෙන් තරග 92ක දී ඔහු විසින් වාර්තා කළ ගෝල ගණන 77කි.

1958, 1962 සහ 1970 දී ලෝක කුසලාන දිනා ගත් ඔහු ලෝක කුසලාන තුනකට හිමිකම් කියන ලොව එකම ක්‍රීඩකයායි. 2000 වසරේ දී ඔහුව “ශතවර්ෂයේ පාපන්දු ක්‍රීඩකයා” ලෙස නම් විය.

බ්‍රසීලය වැනි වහල්භාවය පිළිබඳ ගැටලු රැසක් ඇති රටක කළු ජාතික පේලේව සැලකුණේ ජාතික සම්පතක් ලෙසයි. ප්‍රේක්ෂකයන් විසින් ඔහුව වඳුරෙකු ලෙස සලකා ඔහුට අපහාස කළ බොහෝ තරගවල දී ඒ බව නොසලකා ඔහු දස්කම් දැක්වූවේය. වරක් ඔහු පවසා තිබුණේ “වඳුරු ඝෝෂාව ඇසුණු සෑම විටකම තරග කිරීම නැවැත්වූයේ නම් ඔහු ක්‍රීඩා කළ සියලු තරග නවත්වන්නට සිදු වනු ඇති” බවයි.

කිසි කලක කළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ සටන් නොකළත්, තමාගේ රාජකාරිය හරිහැටි ඉටුකිරීම මඟින් ඔහු තම වර්ගයාට බ්‍රසීල පාපන්දු ක්‍රීඩාවේ ඉඩකඩ විවර කළේය.

ජාතික ශෝක කාලය දින තුනක් සඳහා වුවත් සාඕ පවුලෝ බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ශෝක කාලය සතියක් තරම් දුර ඇදී යනු ඇති බවයි. එහෙත් බ්‍රසීල පාපන්දු ප්‍රජාවටත් ලෝක පාපන්දු ප්‍රජාවටත් එය නිම නොවන ශෝක කාලයක් වනු ඇති.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<