අඬන්නෙත්, දුවන්නෙත් රට වෙනුවෙන්

World Athletics Indoor Championship 2024

216

තමන්ගේ රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා ඉසව්වකින් පළමු පදක්කම ජයග්‍රහණය කරලා දෙනවා කියන්නේ මොන තරම් ලොකු හැඟීමක් ද කියලා Noelie Yarigo දැන් හොඳින් ම දන්නවා ඇති. 

නිමා වුනු ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්න බෙනින් කියන බටහිර අප්‍රිකානු රට නියෝජනය කරමින් ඉසව්වට පිවිසුණු Noelie Yarigoට හැකියාව ලැබුණා. තමන් ඒ පදක්කම ජයග්‍රහණය කළ බව ඇය දැන ගත්තු මොහොතේ රන් හෝ රිදී පදක්කම් ලාභිනියන් දෙදෙනාට ම වඩා වැඩියෙන් ඇය සතුටු වෙන බවත් දකින්න ලැබුණා. 

Glasgow ධාවන පථයේ ම බිම වැතිරිලා මහා හයියෙන් කෑ ගසමින් ඇය හඬා වැටෙන්න පටන් ගත්තා. 

මනුෂ්‍ය ජීවිතයක පරම සතුට ඔබට අත් විඳින්න අවශ්‍ය නම් ඇය දෙස බලන්න කියලා මම ඔබට යෝජනා කරනවා. 

පළමු ජාතික වාර්තාව 2003 දී 

මේ වෙද්දී Noelie Yarigoගේ වයස අවුරුදු 38ක්. ඇය තමන්ගේ ක්‍රීඩා ඉසව්ව වුන මීටර් 800න් පළමු ජාතික වාර්තාව පිහිට වන්නේ මීට අවුරුදු 21කට කලින්. 2003 දී Yarigoට අවුරුදු 17ක් වෙද්දී ඇය තමන්ගේ ඉසව්ව මිනිත්තු 2.11.61 කින් නිම කරමිනුයි මේ ජාතික වාර්තාව පිහිටුවන්න සමත් වුනේ. 

නමුත් ඇය වයස අවුරුදු 19 දී පමණ ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. 

“මම හොඳ හැඩයකින් හිටියේ නැහැ සහ මට දිගින් දිගටම පුහුණුවීම්වල නිරත වෙන්න බැරි වුනා.” 

මේ හේතුව නිසා අවුරුදු 7කට අධික කාලයක් ක්‍රීඩාවෙන් ඈත් වෙලා හිටපු Yarigo ආයෙත් ධාවන පිටියට පිවිසෙන්නේ 2012 වර්ෂයේ දී. 

නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීමෙන් වසරක පමණ කාලයක් ගෙවිලා ගියායින් පස්සේ Yarigo ප්‍රංශයට සංක්‍රමණය වෙනවා වගේම ඇය විසින් මේ කාලය තුළ සිය ඉසව්වේ ජාතික වාර්තාව මිනිත්තු 2.00.51ක් මට්ටමට ගෙන එන්නත් සමත් වුනා. 

(ආයෙත් ලිපියේ මුලට ගිහින් බලන්න මේ ජාතික වාර්තාව ඊට කලින් තිබුණේ කොතනද කියලා. ඔබට බෙනින් වල මලල ක්‍රීඩාව සහ Yarigo ඊට දුන්නු තල්ලුව ගැන සරලවම තේරුම් ගන්න හැකියාවක් ලැබේ වී.) 

ඔලිම්පික් අවසන් පූර්ව වටයට 

ඉන් පසුව Yarigo තමන්ගේ පළමු ගෝලීය ක්‍රීඩා ඉසව්ව විදිහට 2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වුනා. එතැනින් පස්සේ ඇයගේ මීළඟ පියවර වුනේ 2016 රියෝ ඔලිම්පික් උළෙල. 

2016 රියෝ ඔලිම්පික්වල දී ඇය පළමු වතාවට තමන්ගේ ඉසව්වෙන් මිනිත්තු දෙකේ කාල සීමාව අතික්‍රමණය කරන්න සමත් වෙනවා. ඒ දක්ෂතාවත් සමඟම ඇය විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න සමත් වෙනවා. 

මීට පෙර කිසිම දවසක බෙනින් වලින් ඔලිම්පික් ගිය කිසිම මලල ක්‍රීඩකයෙක්/ක්‍රීඩිකාවක් තමන්ගේ ඉසව්වක අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් ලබලා තිබුණේ නැහැ. 

ඇය බෙනින් මලල ක්‍රීඩාවේ ඉතිහාසය අලුත් කරන්න පටන් ගන්නවා. 

නමුත් අවාසනාවන්ත විදිහට ඇගේ 2016 ඔලිම්පික් ගමන අවසන් පූර්ව වටයෙන් නතර වුනා. 

ව ඇය 2020 ඔලිම්පික් උළෙලේ දීත් තමන්ගේ ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. ඒත් වළලුකරේ ආබාධයක් සමඟ ධාවනයේ යෙදුණ Yarigoට එවරත් අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වෙන්න සිදු වුනා. 

මීට අමතරව ඇය 2015 වර්ෂයෙන් පසුව 2017, 2019, 2022 සහ 2023 වර්ෂ වල දී නොකඩවා සහභාගී වූ ලෝක මලල ක්‍රීඩා උළෙල සියල්ලේ ම කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වුනත් ඇයට ඉන් ඉදිරියට යාමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. 

ඒ අනුව මෙවර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල වන තෙක් කිසිඳු අවස්ථාවක ජාත්‍යන්තර මට්ටමේ අවසන් තරගයක තරග වැදීමට Yarigoට හැකි වෙලා තිබුණේ නැහැ. 

මෙවර ශූරතාවලියේ මූලික වටයේ දී මිනිත්තු 2.01.13 කාලයක් සමඟින් සුපුරුදු පරිදි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න Yarigoට හැකියාව ලැබුණා. ඒ වගේම අවසන් පූර්ව තරගයේ දී මිනිත්තු 1.59.45ක කාලයක් වාර්තා කරමින් ඉතිහාසයේ පළමු වරට ගෝලීය මට්ටමේ තරගයක අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටත් Yarigoට හැකියාව ලැබුණා. එමෙන්ම මෙය බෙනින් ජාතිකයකු ලෝක මට්ටමේ දී මලල ක්‍රීඩාවෙන් ලද ඉහළම ජයග්‍රහණය ලෙසත් සටහන් වුනා. 

අවසන් වටයේ දී ඇය විසින් වාර්තා කළ කාලය මිනිත්තු 2.03.15ක් වුවත් එය ඇයට තරගයේ තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් වුනා. 

“මගේ පුංචි රටේ මිනිස්සු බොහෝම ටික දෙනයි ඉන්නේ. ඔවුන් මා සමඟ ඉන්නවා. ඔවුන්ට පදක්කමක් ජයග්‍රහණය කර දෙන්න හැකි වුන නිසායි මම මේ අඬන්නේ.” 

ඇය තමන්ගේ කඳුළු වල රහස ඒ විදිහට මාධ්‍යයට හෙලි කරා. 

Peacemaker සිට පදක්කමක් වෙත 

Yarigo මෑත කාලීන ව වැඩිම වශයෙන් දකින්න ලැබුණේ මීටර් 800 සහ 1500 ඉසව් වල දී අනෙක් ක්‍රීඩිකාවන්ට වාර්තා වෙනුවෙන් යන්න සහය ලබා දෙන Peacemaker කෙනෙක් විදිහට. 

“ඒක සරලයි, මට ජීවත් වෙන්න නම් මුදල් උපයන්න වෙනවා. Peacemaker කෙනෙක් වශයෙන් මට මගේ දෛනික ජීවිතයේ වියදම් සඳහා මුදල් උපයා ගත්තා.” 

තම විය හියදම් වෙනුවෙන් සහ තම පෞද්ගලික තෘප්තිය වෙනුවෙන් Peacemaker කෙනෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටි Yarigoට මීට වසර දෙකකට පමණ පෙර මුණ ගැසුණු රුමේනියානු ජාතික පුහුණුකරුවකු වන Valentin Anghel විසින් නැවතත් සිය පෞද්ගලික දක්ෂතා සඳහා අවධානය ලබා දීමට මග පෙන්වා තිබෙනවා.

බොහෝ ක්‍රීඩිකාවන් කාලය ගෙවී යත්ම Peacemaker කෙනෙකු ලෙස ධාවනයේ යෙදී පසුව ක්‍රීඩාවට සමු දෙනවා. නමුත් Yarigo එම ඉරණමට පිටු පාමින් නැවත හැරී ආ ගමනේ අවසන් ප්‍රතිඵලය ලෙසයි ඇය විසින් මෙම පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වෙන්නේ. 

“මට දැන් 38, ඒත් මට නම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඔබ කළ යුත්තේ උපරිමයෙන් මහන්සි වීම සහ තමන් ගැන විශ්වාස කිරීමයි.” 

Yarigoගේ මෙම දක්ෂතාව සමඟ ඇය අනිවාර්යයෙන් ම එළඹෙන ඔළිම්පික් උළෙලේ දී ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වනු ඇති. එමෙන්ම මෙතක් කල් ඔලිම්පික් අවසන් පූර්ව වට දක්වා පමණක් පැමිණි Yarigo එතැනින් එහාට කෙතරම් දුරක් ගිය ද එය බෙනින් ජාතිකයකු මෙතෙක් ජාත්‍යන්තර මට්ටමෙන් මලල ක්‍රීඩාවේ දැක් වූ ඉහළම දක්ෂතාව ලෙස ද වාර්තා අතර සටහන් වනු ඇති. 

ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<