මාලිංගට උපදේශක තනතුරක් දීමේ සැලැස්මක්

550

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංගගේ විස්සයි විස්ස අනාගතය කෙබඳු වේ ද, ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු Mickey Arthur ඒ පිළිබඳව අදහස් දක්වා සිටියා.

එහි දී ඔහු පවසා සිටියේ ලසිත් මාලිංග ඉදිරි කාලය තුල උපදේශකවරයෙකු ලෙස එක් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ සම්බන්ධයෙන් තමන් ලසිත් මාලිංග සමඟින් සාකච්ඡා කළ බව ද Mickey Arthur පවසා තිබුණා. එහි දී තම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගෙන ඔහු උපදේශකයකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බව Mickey Arthur පවසා සිටියා

ලසිත් මාලිංග යනු එක්දින සහ විස්සයි විස්ස තරග රටාවල අත්දැකීම් රාශියක් සහිත ක්‍රීඩකයෙකු බව ද Mickey Arthur සිය අදහස් දැක්වීමේ දී පවසා සිටියා.

ඔහුගේ අත්දැකීම් සහ දැනුම තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට මහත් වටිනාකමක් ගෙන දෙනු ඇති බව ඔහුගේ මතයයි.

මම හිතන්නේ ලසිත් මාලිංග විශිෂ්ට ක්‍රීඩා දිවියක් ක්‍රීඩා කළා. පසුගිය වසරේ ලෝක කුසලානය කල්දැමීමත් එක්ක ඔහුට තරමක් අමාරු කඩඉමක් පසුකරන්න සිදු වුනා. ඒත් ඔහුගේ ක්‍රීඩා දිවිය අසමසමයි, ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය පිළිබඳව අදහස් දක්වමින් Mickey Arthur පවසා සිටියා.

මාලිංග අපිට ලොකු වටිනාකමක් තියන ක්‍රීඩකයෙක්. ඔහුගේ අත්දැකීම්, දක්ෂතා, නායකත්ව ගුණාංග අපිට ගොඩක් වටිනවා. එක්දින තරග රටාව තුල අපේ තරුණ වේගපන්දු යවන්නන්ට ඔහුගෙන් ගන්න පුළුවන් පාඩම් ගොඩක් තියනවා. ඔහු ඉතාමත් විශාල දැනුමක් තියන ක්‍රීඩකයෙක්. මම කැමතියි ඔහු කණ්ඩායම එක්ක එකතු වෙලා වැඩ කරනවා දකින්න.

තවත් ක්‍රිකට් පුවත්:

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 226කට සහ විස්සයි විස්ස තරග 84කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව පිළිවෙළින් 338ක් සහ 107ක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග එහි තරග 122ක් තුල කඩුලු 170ක් දවාගෙන ඇති අතර එම තරගාවලිය තුල වැඩිම කඩුලු ලාභියා ද වනවා.

පසුගිය වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියෙන් පසුව මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ නැහැ.

මාලිංග නිල වශයෙන් එක්දින තරගවලින් සමුගන්නා බව 2019 වසරේ දී නිවේදනය කළ අතර පසුගිය මාසයේ දී ඔහු ලීග් තරගාවලිවලින් සමුගත්තා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<