Slimline පන්නල සහ Omegaline කණ්ඩායම් ආධුනික ශූරතා දිනයි

222

2022 වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාවයේ ආධුනික අංශයේ අවසන් මහා තරග අද (13) මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි පිරිමි ශූරතාවය ‘Slimline’ පන්නල කණ්ඩායම ජයග්‍රහණය කරද්දී කාන්තා ශූරතාවය දිනාගනු ලැබුවේ ‘Omegaline’ කණ්ඩායම යි. 

ආධුනික අංශය – පිරිමි

‘Slimline’ පන්නල සහ ‘Best Pacific Lanka’ කණ්ඩායම් අතර පැවති අවසන් මහා තරගය කරට කර තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කළ ‘Slimline’ පන්නල කණ්ඩායම ආධුනික පිරිමි තරග අංශයේ ශූරතාවය හිමි කරගැනීමට සමත් වුනා.

තරගයේ පළමු වටයම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ උද්වේගකර අවසන් මහා තරගයක පෙරනිමිති පළකරමින්. ඒ අනුව ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා දක්‍ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත් පළමු වටය ලකුණු 26-28ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ‘Best Pacific Lanka’ කණ්ඩායම යි.

කෙසේ නමුත් ‘Slimline’ කණ්ඩායම දැඩි අභියෝගයකින් තොරව ලකුණු 25-17ක් ලෙස දෙවන වටය ජයග්‍රහණය කරමින් නැවතත් තරගයට අවතීර්ණ වුනා.

තෙවන වටයේ දී යළිත් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ Best Pacific Lanka කණ්ඩායම  ලකුණු 16-25ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරග වට 2-1ක් ලෙස පෙරමුණය එන්නට සමත් වුනා.

‘Slimline’ කණ්ඩායම තවදුරටත් තරගයේ රැඳී සිටීමට නම් සිව්වැනි වටය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වූ නමුත් ප්‍රතිවාදී ක්‍රීඩකයින් ඔවුන්ට එය පහසු කාර්යයක් බවට පත්කළේ නැත. ඒ අනුව ‘Best Pacific Lanka’ ක්‍රීඩකයින් ඔවුන්ට තියුණු අභියෝගයක් ලබාදුන්නත් ඉතා සූක්‍ෂමව ක්‍රීඩා කළ ‘Slimline’ කණ්ඩායම ලකුණු 26-24ක් ලෙස එම වටය ජයග්‍රහණය කළේ තරගයේ තීරණය අවසන් වටය වෙත රැගෙන යමින්.

අනතුරුව හොඳ සැලැස්මක් සහිතව පස්වන හා අවසන් වටයට පිවිසි ‘Slimline’ ක්‍රීඩකයින් ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් එම වටය ලකුණු 15-10ක් ලෙස ජයග්‍රහණය කළේ තරගාවලියේ ශූරතාවය ද තමන් සතු කරගනිමින්.

ආධුනික පිරිමි තරග අංශයේ තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ ‘CDB’ කණ්ඩායම පරාජයට පත්කළ ‘Linea Aqua’ කණ්ඩායම යි.

ආධුනික අංශය – කාන්තා

කාන්තා අවසන් මහා තරගය සඳහා ‘Omegaline’ සහ ‘Maliban’ කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර එය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කළ ‘Omegaline’ කණ්ඩායම කාන්තා ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවා.

තරගයේ පළමු වට දෙකම තරමක් තියුණු මුහුණුවරක් ගත්තත් එහි දී අවසාන ලකුණු කිහිපය තුළ ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ ‘Omegaline’ ක්‍රීඩිකාවන් එම වට දෙකම ජයග්‍රහණය කරන්නට සමත් වුනා. එම වට දෙකේම ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-19ක් ලෙසයි.

අනතුරුව තරගයේ තෙවන වටයේ දී ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ ‘Omegaline’ කණ්ඩායම එම වටය ලකුණු 25-13ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ආධුනික කාන්තා අංශයේ ශූරතාවය තමන් සතු කරගනිමිනි.

‘Omegaline B’ කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම අංශයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත් වුනේ ‘Hirdaramani’ කණ්ඩායම යි.