කබඩි වලින් ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම් හිමි වෙයි!

Asian Beach Games 2026

3
Asian beach games

06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ක්‍රීඩා උළෙලේ 06 වැනි දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව තවත් රිදී සහ ලෝකඩ පදක්කම බැගින් ජය ගැනීමට සමත් වුනා.

මෙම පදක්කම් ද්විත්වයම වෙරළ කබඩි ක්‍රීඩාවෙන් හිමි වූ අතර, මලල ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ අනෙක් එකම ක්‍රීඩා ඉසව්ව බවට කබඩි පත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම තම ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී නේපාලයට එරෙහිව ලකුණු 46-23ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර, අවසන් තරගයේ දී ඔවුන්ට ඉන්දීය කණ්ඩායම මුණ ගැහුණා.

එම තරගයේ දී 31:47ක් ලෙස තරගයෙන් පරාජය වීමට ශ්‍රී ලංකා කාන්තාවන්ට සිදු වූ අතර, ඒ අනුවයි ඔවුන්ට රිදී පදක්කමින් සෑහීමකට සිදු වුනේ.

මේ අතර ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා පිරිමි 3×3 පැසිපන්දු කණ්ඩායම මොන්ගෝලියාව සමඟ තරගයකට පිවිසුණු අතර, එම තරගයෙන් 11-22ක් ලෙස අවාසනාවන්ත පරාජයක් ලැබීමට සිදු වුනා.

මේ අතර කාන්තා 3×3 පැසිපන්දු කණ්ඩායම සිංගප්පූරුව මුණ ගැසුණු අතර, එම තරගයෙන් ඔවුන්ට ද ලකුණු 5-21ක් ලෙස පරාජයකට මුහුණ දීමට සිදු වුනා.

මේ අනුව 06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනය වන අද දිනය වන විටත් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 11 වැනි ස්ථානය රැක ගැනීමට සමත් වී තිබෙන අතර, මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 06ක් දිනා ගැනීමට සමත් වී සිටිනවා.

අද දිනයේ මෙන්ම ඉදිරි දිනවල දී ද තවත් ක්‍රීඩා ඉසව් කිහිපයකින්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සූදානමින් පසු වනවා. එම තරග විස්තර ද සමඟින් 2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Cover Image Credit – National Olympic Committee Of Sri Lanka Official Facebook Page

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>