කොවිඩ් නිසා නැවතුනු ICC ලෝක කුසලාන දෙවන ලීගය නැවතත්

2019–2023 ICC පිරිමි ලෝක කුසලාන දෙවන ලීගය

557

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ආරම්භ වුනු ICC පිරිමි ලෝක කුසලාන දෙවන ලීගයේ තරගාවලිය (2019–2023 ICC Cricket World Cup League 2) කොවිඩ් 19 වෛරසය නිසාවෙන් අතරමඟ නවතා දැමුනු අතර එම නැවතුනු තරගාවලිය නැවත වතාවක් පණගැන්වීමට ICCය අද (26) තීරණය කර තිබෙනවා.

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලි ලෙස පැවැත්වෙන මේ ICC ලෝක කුසලාන දෙවන ලීගයේ තරගාවලි කිහිපයක් දැනට පවත්වා අවසන් වී තිබෙන අතර දැනට එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ දුලීප් මෙන්ඩිස්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් ඕමාන කණ්ඩායමයි. එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමයි.

මේ ICC පිරිමි ලෝක කුසලාන දෙවන ලීගයේ තරගාවලිය සඳහා ඕමානය, නැමීබියාව, නේපාලය, ඇමරිකා එක්සත් ජනපදය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පැපුවා නිව් ගිනියාව යන කණ්ඩායම් 7 තරග වදිනවා. මේ සමස්ත තරගාවලිය සඳහා ජාත්‍යන්තර එක්දින තරග 126ක් (තුන්කොන් තරගාවලි 21ක්) ඇතුළත් වෙනවා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මේ ICC පිරිමි ලෝක කුසලාන දෙවන ලීගයේ තරගාවලිය අවසානයේ එහි ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන තුන දිනාගන්නා කණ්ඩායම් තුන සඳහා, 2023 වසරේ ජුනි මස 18 වැනිදා සිට ජූලි මස 08 වැනිදා දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදාවෙනවා.

කොවිඩ් 19 වෛරසය නිසාවෙන් තාවකාලිකව නවතා දැමුනු මෙම තරගාවලියේ ඉදිරි තරගාවලි දෙක ඕමානයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන අතර පවතින කාලය සීමා සහිත නිසාවෙන් එක්වර මේ තරගාවලියට අදාළව තුන්කොන් තරගාවලි දෙකක් පැවැත්වෙනවා.

ඒ අනුව නේපාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕමානය සැප්තැම්බර් මස 13 වැනිදා සිට 20 වැනිදා දක්වා තරග 2ක බැඟින් එක් තරගාවලියක් තුළ සමස්ත තරග 6ක් (එක් කණ්ඩායමකට එක් තරගාවලියක් තුළ තරග 4ක්) ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා. ඉන් පසුව ඕමානය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව එක්වන තුන්කොන් තරගාවලියක්ද පැවැත්වෙනවා. එය සැප්තැම්බර් මස 25 වැනිදා සිට ඔක්තෝම්බර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහිදී ජයගනු ලබන එක් තරගයක් සඳහා ප්‍රසාද ලකුණු 2ක් හිමි වෙනවා.

ICC පිරිමි ලෝක කුසලාන දෙවන ලීගයේ තරගාවලිය යටතේ ඉදිරියේ දී පැවැත්වෙන තරග මෙසේයි,

  • සැප්තැම්බර් 13 – නේපාලය සහ ඇමරිකා එක්සත් ජනපදය – Turf 1
  • සැප්තැම්බර් 14 – ඕමානය සහ නේපාලය – Turf 1
  • සැප්තැම්බර් 16 – ඕමානය සහ ඇමරිකා එක්සත් ජනපදය  – Turf 1
  • සැප්තැම්බර් 17 – නේපාලය සහ ඇමරිකා එක්සත් ජනපදය – Turf 1
  • සැප්තැම්බර් 19 – ඕමානය සහ නේපාලය – Turf 1
  • සැප්තැම්බර් 20 – ඕමානය සහ ඇමරිකා එක්සත් ජනපදය – Turf 1
  • සැප්තැම්බර් 25 – පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය – Turf 2
  • සැප්තැම්බර් 16 – ඕමානය සහ පැපුවා නිව් ගිනියාව – Turf 2
  • සැප්තැම්බර් 28 – ඕමානය සහ ස්කොට්ලන්තය – Turf 2
  • සැප්තැම්බර් 29 – පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය – Turf 1
  • ඔක්තෝම්බර් 1 – ඕමානය සහ පැපුවා නිව් ගිනියාව – Turf 1
  • ඔක්තෝම්බර් 2- ඕමානය සහ ස්කොට්ලන්තය – Turf 1

මේ තරග සියල්ල ඕමානයේ Muscat හිදී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<