දසුන්ගේ Greys අපරාජිතව තරගාවලිය ජය ගනී

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

228
SLC Greys crowned Dialog-SLC Invitational T20 Champions

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ SLC Greys සහ SLC Reds කණ්ඩායම් අතර අද (24) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගත් SLC Greys ක්‍රීඩකයෝ Dialog ශූරතාව දිනා ගැනීමට සමත් වුනා. 

ශූරයන් සොයා යන ගමනේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ දී එහි වාසිය දිනා ගැනීමට තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායම ලෙසින් සිටි SLC Greys නායක දසුන් ශානක සමත් වුනා. තම කණ්ඩායමේ දක්ෂතා ගැන පූර්ණ විශ්වාසයක් තැබූ දසුන් ප්‍රතිවාදී SLC Reds කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. 

ඒ අනුව ඉනිම ආරම්භ කළ ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා. එය මෙම තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සබඳතා වුනා. 

යොවුන් ක්‍රීඩක කමිල් මිශාර සහ මිනෝද් භානුක SLC Greys ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට පන්දු 20ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කළා. අකිල ධනංජයගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ දැවටීම හේතුවෙන් කමිල් මිෂාර පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය අතර ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 10ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 9කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 2ක් ඇතුළත් වුනා. 

අනතුරුව පිටියට පිවිසියේ උපනායක චරිත් අසලංකයි. නමුත් ඔහුට මෙම තරගයේ දී තම කණ්ඩායම වෙනුවෙන් වැදගත් මෙහෙවරක් කිරීමට හැකි වුනේ නැහැ. තරගාවලියේ එතෙක් ඉනිම් 3ක දී අර්ධ ශතක දෙකක් රැස් කරගෙන සිට ඔහු මෙම තරගයේ දී පන්දු 4කට පමණක් මුහුණ දී ලකුණක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට හසු වුනා. 

එතැන් සිට මිනෝද් භානුක සහ නුවනිඳු ප්‍රනාන්දු අතර ඇරඹි තෙවැනි කඩුල්ලේ සබඳතාව SLC Greys කණ්ඩායමේ ගෞරවණීයත්වය ආරක්ෂා කළා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 82ක සබඳතාවක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව අවසන් වන විට මිනෝද් භානුක පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා.

මිනෝද්ගේ දැවි යෑමෙන් අනතුරුව පිටියට පිවිසියේ නායක දසුන් ශානකයි. ඔහු නුවනිඳු සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කර තිබුණේ පන්දු 26ක් පමණයි. 

නුවනිඳු දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා. එතැන් සිට පන්දු 9ක් දසුන් ශානක සහ ලහිරු මධුශංක අතර බෙදී ගිය අතර ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට එම පන්දු ප්‍රමාණයේ දී නොදැවුණ ලකුණු 33ක් වාර්තා කළා. 

ඉනිම අවසන් වන විට දසුන් ශානක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවි ලකුණු 48ක් ලබා සිටි අතර ලහිරු මධුශංක පන්දු 3ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.  

SLC Greys ක්‍රීඩකයෝ තම ඉනිමේ අවසන් පන්දුවාර 4 දී ලකුණු 75ක් ලබා ගනිමින් ප්‍රතිවාදී පන්දු යවන්නෝ අසීරුවට ලක් කිරීම කැපී පෙනුණා. කෙසේ වෙතත් කඩුලු ලබා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව අසේල ගුණරත්න ද කඩුල්ලක් දවා ගත්තා.  

ලකුණු 202ක හඹා යන  ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිනේෂ් චන්දිමාල්. කෙතරම් බලාපොරොත්තු සහගතව පිටියට පිවිසියත් පුලින තරංග විසින් ඉතා අසීරු උඩ පන්දුවක් ලබා ගනිමින් අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කිරීමට සමත් වෙනවා. ඒ වෙද්දී අවිශ්ක පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා. 

ඉන් අනතුරුව පිටියට පිවිසි සීක්කුගේ ප්‍රසන්න පන්දු 6කට පමණක් මුහුණ දෙමින් සිටිය දී ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට පුලින තරංගගේ උඩ පන්දු රැක ගැනීම හේතු වුනා. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 4ක් පමණයි. ඉන් අනතුරුව SLC Reds ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් පමණක් එක් වෙද්දී නායක දිනේෂ් චන්දිමාල්ට ද පිටිය හැර යෑමට සිදු වුනා. චන්දිමාල් අද තරගයේ දී ලබා ගත්තේ පන්දු 12ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් පමණයි.

SLC Reds ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් වූයේ එම කඩුල්ලෙන් අනතුරුවයි. ඒ ඕෂද ප්‍රනාන්දු සහ අසේල ගුණරත්න අතර සිව්වැනි කඩුල්ලටයි. ඔවුන් දෙදෙනා එක්ව එම කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 65ක් රැස් කළා. හිසරදයක් වෙමින් තිබූ එම ලකුණු සබඳතාව කඩා දැමීමට පෙරමුණ ගත්තේ ඊට පෙර විශිෂ්ට උඩ පන්දු දෙකක් රැක ගත් පුලින තරංගයි. ඕෂද තම කඩුල්ල බිඳ ගනිමින් දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඕෂද සහ අසේල විසින් එක් කළ එම ලකුණු සබඳතාව SLC Reds ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වුනා. 

අනතුරුව චාමික කරුණාරත්න ද පන්දු 5ක දී ලකුණු 4ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුව අසේල ගුණරත්න ද පන්දු 21ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුනා. 

පසුපෙළ පිතිකරුවන් අතරින් යම් වැදගත් මෙහෙවරක් කළේ අකිල ධනංජය පමණයි. ඔහු පන්දු 13කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවි ලකුණු 25ක් ලබා ගත්තා. ඔහුට අමතර ව පිටියට පිවිසි නිපුන් ධනංජය (10), සංතුශ් ගුණතිලක (3), ප්‍රභාත් ජයසූරිය (1) සහ අසිත ප්‍රනාන්දු (0) අඩු ලකුණුවලට තම ඉනිම් හැර ගියා. 

ඒ අනුව ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි. ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය වාර්තා කිරීමට SLC Greys ක්‍රීඩකයෝ සමත් වුනා.  

කඩුලු ලබා ගැනීමේ දී නුවන් ප්‍රදීප්, මතීෂ පතිරණ සහ පුලින තරංග කඩුලු 2 බැගින් ලබා ගත් අතර අශේන් ඩැනියෙල්, දසුන් ශානක සහ ලහිරු මධුශංක කඩුල්ල බැගින් ලබා ගත්තා. 

අවසන් මහා තරගයේ වීරයා ලෙසින් SLC Greys කණ්ඩායමේ මිනෝද් භානුක සම්මානයට පාත්‍ර වූ අතර තරගාවලියේ වීරයා ලෙසින් එම කණ්ඩායමේ නායක දසුන් ශානක සම්මානයට පාත්‍ර වූවා. 

SLC Greys; කඩුලු 4ක් දැවි 201 (20) – මිනෝද් භානුක 74, නුවනිඳු ප්‍රනාන්දු 47, දසුන් ශානක නොදැවී 48, අකිල ධනංජය 2/24

SLC Reds: සියලුම දෙනා දැවී 159 (19.4) – ඕෂද ප්‍රනාන්දු 46, අසේල ගුණරත්න 22, අකිල ධනංජය නොදැවී 25, නුවන් ප්‍රදීප් 2/17, මතීෂ පතිරණ 2/28, පුලින තරංග 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<