දකුණු අප්‍රිකාවට එරෙහි නම් කළ මූලික සංචිතයට චන්දිගේ නමත්!

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2006
30-man squad for limited over series

විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකින් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සැදුම්ලත් මූලික සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇති බව Sunday times පුවත්පත ඊයේ දිනයේ දී (22) වාර්තාකොට තිබුණා.

මෑත කාලීනව ටෙස්ට් තරග බිමේ දී යම් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත් වූ නමුත් සීමිත පන්දුවාර තරගයන්හී අපේක්ෂා කළ අයුරින් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටි හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට යලි අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටු නිළධාරීහූ කටයුතු කොට තිබෙන්නේ නම්කොට ඇති මූලික සංචිතය සඳහා ඔහුගේ නම ද ඇතුළත් කරමිනි. 

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය අරමුණු කර ගනිමින් මේ දිනවල දියත් කෙරෙන Dialog-SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දී මේ දක්වා දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් ජාතික කණ්ඩායමේ තම ස්ථානය යලි තහවුරු කර ගැනීමේ අවස්ථාවක් චන්දිමාල් හට ලබා දීමට තේරිම් කමිටු බළධාරීහූ ක්‍රියාකොට තිබේ.

චන්දිමාල්ට අමතරව පසුගිය කාලසීමාව තුල දී කණ්ඩායමෙන් ඉවතට ඇඳී ගිය කමිඳු මෙන්ඩිස් සහ ළහිරු මධුසංක යන ක්‍රීඩකයින් දෙදෙනා ද යලි ජාතික සංචිතයෙහි දොරටු විවෘත කර ගැනීමට සමත්ව තිබේ.

ආරධිත T20 තරගාවලියේ දී SLC Greens නියෝජනය කරමින් මැනවින් තම පිත්ත හැසිර වූ කමිඳු මෙන්ඩිස් මේ දක්වා පැවති තරගවල දී පිට පිට අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා කරමින් තේරිම් කමිටු නිලධාරීන්ගේ අවධානය තමන් වෙත යොමු කර ගැනීමට සමත් වූයේ පන්දු යැවීමේ අංශයෙන් ද ඔහුගෙන් ලබාගත හැකි දායකත්වය පිළිබඳව පැහැදිලි ඉඟියක් ද ලබා දෙමිනි. 

තවත් ක්‍රිකට් පුවත්:

වමත් සහ දකුණත් සුසංයෝගයෙන් පන්දු යැවීමේ දුලබ හැකියාවක් සතු ක්‍රීඩකයෙකු ලෙස 2018 වර්ෂයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නා කමිඳු හට ලබා දුන් සීමිත අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලා ගැනීමට නොහැකි වූ හෙයින් ඉතාමත් අවාසනාවන්ත අයුරින් කණ්ඩායමෙන් ඉවතට යාමට සිදු විය.

වැරෙන් පන්දුවට පහර දිය හැකි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස මෙන්ම උපායශීලී වේගපන්දු යවන්නෙකු ලෙස ද දේශීය තරග බිමේ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනඟාගෙන සිටින ළහිරු මධුසංක, SLC Grey කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සවිබල ගන්වමින් SLC Blues කණ්ඩායමට එරෙහිව පන්දු 39ක් පමණක් වැය කරගනිමින් ලකුණු 74ක අනගි ඉනිමක් දියත් කළේ ඔහුගේ රිද්මය තවමත් එලෙසම රඳවා ගැනීමට සමත්ව ඇති බවට පැහැදිලි පණිවිඩයක් ලබා දෙමිනි. 

2017 වසරේ දී තම මංගල ජාත්‍යන්තර තරගය සඳහා සහභාගී වූ මධුසංක 2019 වර්ෂයේ සිට මේ දක්වා ජාතික කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට ඇතුළත් වීමට දැඩි වෑයමක් ගත් නමුත් ඔහුගේ එම උත්සහයන් සියල්ලම ව්‍යර්ථව යන්නට විය. 

පසුගිය වසරේ දී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මෙන්ම Dialog-SLC ආරාධිත T20 තරගාවලියේ දී ද එක සේ දස්කම් පෑ තවමත් ජාත්‍යන්තර තරග වරම් හිමි නොවූ නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු හට ද මෙවර අවස්ථාව  ලබා දීමට ක්‍රිකට් ආයතනය කටයුතුකොට තිබේ. ඒ අනුව මහීෂ් තීක්ෂණ, පුලින තරංග, සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුසංක යන ක්‍රීඩකයින් සංචිතය සඳහා එක්කොට ගෙන ඇති නවකයින් බවට වාර්තාවන්ගේ සඳහන් වේ.

COVID19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් විවේක ගන්වා සිටි ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද සැප්තැම්බර් මස 2 වැනිදායින් ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා නම්කොට ඇති මූලික සංචිතය සඳහා ඇතුළත්ව තිබීම කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඉන්දීය තරග සංචාරය පුරාවට නායකත්වයේ වගකීම මැනවින් ඉටු කළ දසුන් ශානක කෙරෙහි යලි විශ්වාසය තබමින් කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර කාර්‍ය ඔහුට පවරා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් වැනි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම නම් සංචිතය තෝරාපත් කරගැනීමේ දී සැලකිල්ලට ගෙන නොමැති වීම මෙහි දී වඩාත් කැපී පෙනෙන කාරණාව බවට පත්වී තිබේ. 

කෙසේ නමුත් 30 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම සංචිතය ඉදිරියේ දී ක්‍රීඩකයින් 20-22ත් අතර ප්‍රමාණයකට ලඝු කිරීමට කටයුතු කරන නමුත් මොවුන් සියලු දෙනාම එකම ජෛව-ආරක්ෂිත බුබුළක පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් එළඹෙන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ලෝක කුසලාන T20 තරගාවලිය සඳහා සූදානම් කිරීමට බලාපොරොත්තු වන බව ද SLC මෙහි දී වැඩිදුරටත් සඳහන්කොට තිබේ. 

ශ්‍රී ලංකා සංචිතය: 

දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඩිල්ෂාන් මධුසංක, ළහිරු කුමාර අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්ෂණ, පුලින තරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන්, ශිරාන් ප්‍රනාන්දු, ළහිරු මධුසංක (ශාරීරික යෝග්‍යතාව මත)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<