ශ්‍රී ලංකාව 9 වන තැනට පසු බසී

342
Sri Lanka Volleyball

මියන්මාරයේ නේ-පී-ටෝ (Nay-Pyi-Taw) හි පැවැත්වෙන SMM 11 වන ආසියානු 19න් පහළ බාලක වොලිබෝල් ශූරතා තරගාවලියේ 9 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුනේ, 9 වන ස්ථානය සඳහා වන තරගයෙන් ඉවත් වන්නට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කිරීමත් සමගයි.

ශ්‍රී ලංකාව හමුවේ හොංකොං පරාජයට

11 වන වරටත් මියන්මාරයේ නෙයි-පියි-ටෝ හි දී පැවැත්වෙන SMM ආසියානු වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවට සුපිරි 8 වටය මඟ හැරුණ ද…

පෙර දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම විසින් හොං කොං කණ්ඩායම ලකුණු  25-10, 18-25, 16-25, 25-23 සහ  15-11ක් ලෙස පරාජය කිරීමත් සමඟ මෙම තරගාවලියේ 9 වන ස්ථානය තීරණය කිරීමේ සටන සඳහා තරග වැදීමට නියමිතව සිටියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. කෙසේ වෙතත් අවසන් මොහොතේ දී බංග්ලාදේශ ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වීමට ගත් තීරණයේ අවසන් ප්‍රතිඵලය වුනේ තරග වට 3 – 0 ක නිතරග ජයක් සමඟ ආසියානු ශූරතා 19න් පහළ බාලක වොලිබෝල් තරගාවලියේ 9 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වීමයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දක්ෂතා පිළිබඳ කනස්සල්ලට පත් වනු ඇත්තේ 2014 වසරේ මෙරට දී පැවති පසුගිය තරගාවලියේ දී 5 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා බාලකයන් සමත් වීම හේතුවෙනුයි. මෙවර තරගාවලියේ මූලික වටය තුල දී තායිලන්තය හමුවේ ලකුණු 25-10, 25-15 සහ  25-23ක් ලෙසත් ජපානය හමුවේ ලකුණු 25-14, 25-21 සහ 25-17ක් ලෙසත් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු කණ්ඩායම් 8 අතර ස්ථානයක් හිමි කර ගැනීමට නොහැකි විය.

මේ අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වල දී ජපාන කණ්ඩායම හමුවේ චීන තායිපේ කණ්ඩායම ලකුණු 25-19, 25-20 සහ 25-14 ක් ලෙස පරාජය වෙද්දී, දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ජය ගන්නට දකුණු කොරියාව සමත් වුනේ සත්කාරක මියන්මාර කණ්ඩායම ලකුණු 25-11, 25-14 සහ  25-12 ක් ලෙස පරාජය කරමිනුයි.

අනෙකුත් අර්ධ අවසන් පූර්ව තරග වල දී ඉරානය හමුවේ තායිලන්තය ලකුණු 25-16, 25-19 සහ 25-19 ක් ලෙසත් චීනය හමුවේ ඔස්ට්‍රේලියාව ලකුණු 25-19, 25-22 සහ 25-21ක් ලෙසත් පරාජය විය.

මේ අනුව අද (අප්‍රේල් 4) පැවැත්වෙන අවසන් පූර්ව තරග වල දී ජපානය චීනය සමගින් තරග වදිනු ඇති. පළමු වටයේ දී ඉරානය පරාජය කරන්නට සමත් වූ දකුණු කොරියා කණ්ඩායම යලිත් වරක් දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔවුන් සමගින් තරග වදින්නේ 6 වරක් ආසියානු 19න් පහළ බාලක වොලිබෝල් ශූරයන් ගේ ශූරතා ගමන නවතා දැමීමේ අරමුණ ඇතිවයි.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට