සුපිරි පන්දු වාරයේ දී ජයගත් LB ෆිනෑන්ස් අවසන් තරගයට

1572

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගවලට පවා ඇල්මක් දක්වන සැබෑම ක්‍රීඩාලෝලීන්ගේ ඇස් අද දිනයේ (25) යොමු වී තිබුණේ 25 වැනි වරටත් සංවිධානය වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් පූර්ව තරග වෙතයි.

ඒ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ සහ අනාගතයේ ක්‍රීඩා කිරීමට නියමිත පෙරළිකරුවන් රැසක් එකිනෙකා හමුවන උණුසුම් තරග දෙකක් අද ක්‍රියාත්මක වූ බැවිනි. දැඩි සටනකින් අනතුරුව අද ශූරතා කුසලානය සඳහා අවසන් සටනේ අසුන් වෙන්කර ගත්තේ LB ෆිනෑන්ස් සමාගම සහ TJ ලංකා සමාගමයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්සට පෙර

විකුම් සංජය පාකිස්තානු කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මෙම යොවුන් වේගපන්දු යවන්නා හට මීට පෙර අවස්ථාවක් ලැබී නැත. වයස අවුරුදු 25ක්…

LB ෆිනෑන්ස් සමාගම සහ MAS යුනිචෙලා සමාගම අතර තරගය

ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරයත්, තරග උණුසුමත් මනාව කැටිවුනු මෙම තරගය අද පැවැත්වුණේ කොළඹ වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. එහි දී දෙපිළම අවසන් තරගයට පිවිසීමට කෙතරම් උත්සාහ ගත්තා ද කිවහොත් තරගය කෙළවර වූයේ දෙපිළේම ලකුණු සමාන වීමෙනි. අවසානයේ විස්සයි විස්ස තරගවල දී මෙන් සුපිරි පන්දුවාරයකින් ජයග්‍රාහකයා තීරණය කිරීමට සංවිධායකයින්ට සිදු විය.

කාසියේ වාසිය දිනාගත් LB ෆිනෑන්ස් සමාගම MAS යුනිචෙලා කණ්ඩායමට පිතිකරණය සඳහා ඇරයුම් කළ අතර ලකුණු අවම තණතිල්ලේ ඔවුන්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 201ක් පමණි. එහි දී එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූයේ දකුණත් මැදපෙළ පිතිකරු චාමර සිල්වායි. ඔහු හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 55ක් රැස්කර ගත්තේ පන්දු 85ක් වැය කරමිනි. මීට අමතරව ආබාධයන්ගෙන් සුවය ලැබූ කුසල් පෙරේරා ද ප්‍රවේගකාරී පිතිකරණය යෙදෙමින් පන්දු 20කින් ලකුණු 27ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

අසාර්ථක එක්දින තරගාවලියෙන් පසු නැවතත් මව්බිමට පැමිණ සිටින නිරෝෂන් දික්වැල්ල ද පන්දු 45කට මුහුණ දෙමින් ලකුණු 28ක් රැස් කළේය. ඒ තම සාමාන්‍යය පිතිකරණ රිද්මය වෙනස් කරමිනි. තිලකරත්න සොහොයුරන්ට ද අද දිනය එතරම් වාසනාවන්ත නොවීය. ඒ ටී. එම්. සම්පත් ලකුණු 21කටත්, තිලකරත්න ඩිල්ශාන් ලකුණු 14කටත් දැවී ගිය බැවිනි. පන්දු යැවීමේ දී පිට දඟපන්දු යවන ක්‍රීඩක රජීව වීරසිංහ සහ පා දඟපන්දු යවන ක්‍රීඩක ඇන්ජෙලෝ පෙරේරා කඩුලු 3 බැගින් දවා ගනිමින් MAS යුනිචෙලාවන්ට හරස් කැපීය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් පහසු ජයක් අපේක්ෂා කළ LB ෆිනෑන්ස් කණ්ඩායමට ද දැඩි බාධකයක් වීමට අධිෂ්ඨානය පෙරදැරිව පන්දු යැවූ MAS යුනිචෙලා ක්‍රීඩකයින්ට හැකි විය. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ පෙරේරා ඇතුළු ඔවුන්ගේ තීරණාත්මක මුල්පෙළ කඩුලු 4ක් බිඳ වැටුණේ ලකුණු 32ක් පමණක් ලබා සිටිය දීයි. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් එක් කරමින් නැවතත් ජයග්‍රහණ බලාපොරොත්තු ඇති කිරීමට චරිත් සුදාරක සහ ප්‍රියමාල් පෙරේරාට හැකි විය.

“මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ” – උපුල් තරංග

2017 වසරට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ ඔවුන් තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දී තිබුණේ එක් අවස්ථාවක දී පමණි. නමුත් මෙම වසර තුළ…

ඉනිමේ නැංගුරම බවට පත්වූ චරිත් සුදාරක ලකුණු 45ක් රැස්කර ගත්තේ පන්දු 91ක දීයි. ඒ හතරේ පහර දෙකක් පමණක් ඉනිමට එක්කාසු කර ගනිමිනි. ඔහු සමඟ සහයෝගයෙන් ඉනිම ගොඩ නැගූ ප්‍රියමාල් පෙරේරා ලකුණු 46ක් රැස්කර ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි. ඔහුගේ ඉනිමට පන්දු 65ක් වැය විය. කෙසේ වෙතත් LB ෆිනෑන්ස් කණ්ඩායම ලකුණු 167ක් ලබා සිටිය දී ඔවුන්ගේ 8 වැනි කඩුල්ල ලෙස චරිත් සුදාරක දැවී ගිය නිසා තරගය නැවතත් දෙපිළටම විවෘත විය.

එහි දී අවසන් පිතිකරුවන් දෙදෙනා ලෙස රජීව වීරසිංහ (12*) සහ ශිරාන් ප්‍රනාන්දු (21) LB ෆිනෑන්ස් කණ්ඩායමට ජය හිමිකර දීමට ගත්තේ ප්‍රබල උත්සාහයකි. ඔවුන් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක් එක් කරමින් MAS යුනිචෙලා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව සමකර ගැනීමට ද සමත් විය. කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ශිරාන් ප්‍රනාන්දු දුවද්දී දැවී ගියේ තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සුපිරි පන්දුවාරයකට භාර කරමිනි. MAS යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් පීඩනය යටතේ සුපිරි පන්දු යැවීමක යෙදුණු දුවිඳු තිලකරත්න කඩුලු 3ක් බිඳ හෙලද්දී ඉෂාර අමරසිංහ, සහන් නානායක්කාර සහ දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.

සුපිරි පන්දුවාරය

අවසන් තරගයේ සහභාගිත්වය තීරණය වන තීරණාත්මක සුපිරි පන්දුවාරයේ දී මුලින් පිතිකරණයේ යෙදුණේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි. එහි දී පන්දුවට පහර දුන් පිතිකරණ යුගලය වූයේ ඇන්ජෙලෝ පෙරේරා සහ ප්‍රියමාල් පෙරේරායි. සුපිරි පන්දුවාරය යැවූ ෆර්වීස් මහරුෆ්ට එරෙහිව මුල් පන්දු 5ටම ඔවුන් දෙදෙනාට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි. කෙසේ වෙතත් ඇන්ජෙලෝ පෙරේරා දුවද්දී දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අවසන් පන්දුවේ දී එල්ල කළ හයේ පහරත් සමඟින් LB ෆිනෑන්ස් පිළේ ලකුණු සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ නැගුණි.

සාන්ත ඇලෝසියස් හා වෙස්ලි විද්‍යාල ජයග්‍රාහීව දිනය නිමා කරයි

අද (25) අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණකින් කෙළවර වූ අතර, එහි දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමක හා ලකුණු 83ක ජයක් ලබා ගන්නා…

ඒ අනුව ලකුණු 12ක් ලබමින් තරගය ජය ගැනීමේ අරමුණින් පිටියට පිවිසියේ ටී. එම්. සම්පත් සහ කුසල් පෙරේරායි. LB ෆිනෑන්ස් කණ්ඩායමට මෙම ඉලක්කය ආරක්ෂා කර ගැනීම සඳහා සුපිරි වේගපන්දු යවන්නෙකු නොසිටි නිසා නායක ලක්ෂාන් රොද්‍රිගෝ පන්දුව භාර කළේ 21 හැවිරිදි නවක ක්‍රීඩක සහන් ආරච්චිගේටයි. වෙනදාට වෙළඳසේවා තරගවල දී මල්වෙඩි සංදර්ශන පවත්වන යුනිචෙලා පිතිකරුවන් මෙම යෞවනයාට එරෙහිව පහසු ජයක් ලබා ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවත් සහන් තම පන්දුවාරය ලකුණු 2කට සීමා කළේ විශිෂ්ට ජයක් කරා LB ෆිනෑන්ස් කණ්ඩායම මෙහෙයවමිනි.

MAS යුනිචෙලා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 201 (පන්දුවාර 48.2): චාමර සිල්වා 55, නිරෝෂන් දික්වැල්ල 28, කුසල් පෙරේරා 27, ටී. එම්. සම්පත් 21, ටී.එම්. ඩිල්ශාන් 14, සහන් නානායක්කාර 14, ඇන්ජෙලෝ පෙරේරා 3/42, රජීව වීරසිංහ 3/49, ශිරාන් ප්‍රනාන්දු 2/38.

LB ෆිනෑන්ස් කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 201 (පන්දුවාර 50): ප්‍රියමාල් පෙරේරා 46, චරිත් සුදාරක 45, අනුෂ්ක පෙරේරා 24, ලක්ෂාන් රුද්‍රිගෝ 22, ශිරාන් ප්‍රනාන්දු 21, දුවිඳු තිලකරත්න 3/33, දිල්රුවන් පෙරේරා 2/27, ඉෂාර අමරසිංහ 2/36, සහන් නානායක්කාර 2/62.


TJ ලංකා සමාගම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම අතර තරගය

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී LB ෆිනෑන්ස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වීමට අද සමත්කම් දැක්වූයේ TJ ලංකා සමාගමයි. ඔවුන් හමුවේ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට කඩුලු 4ක පරාජයක් හිමි විය. කොළඹ NCC පිටියේ දී පැවති මෙම තරගයත් අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වූ පන්දු යවන්නන් රජකළ තරගයක් බවට පත්විය.

කාසියේ වාසිය දිනාගත් TJ ලංකා ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ සියළුම පිතිකරුවන් දැවී ගියේ ලකුණු 156කටයි. එහි දී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 40 සීමාව පසු කිරීමට TJ ලංකා පන්දු යවන්නන් ඉඩක් තැබුවේ නැත. එක් හතරේ පහරක් සමඟින් වැඩිම ලකුණු වාර්තා කළ අකීල් ඉන්හම් ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 72කට මුහුණ දෙමිනි. මීට අමතරව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පන්දු 51කින් ලකුණු 32ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

25th Singer-MCA Knockout Tournament – S/F Highlights

The highlights of the two semi-finals played on 25th October in the 25th Singer-MCA Knockout Tournament.

ආරම්භක පිතිකරු දිල්හාන් කුරේ ලකුණු 25යි. කෙසේ වෙතත් උපුල් තරංග, ලහිරු මධුශංක සහ සුරාජ් රන්දිව් ඇතුළු කොමර්ෂල් ක්‍රෙඩිට් පිළේ මැදපෙළ තනි ඉලක්කමේ ලකුණුවලට බිඳ වැටීම නිසා කොමර්ෂල් ක්‍රෙඩිට් පිළේ විශාල ලකුණු පුවරුවක සිහිනය බිඳ වැටුණි. පන්දු යැවීමේ දී වමතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක චලන ද සිල්වා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම ජයග්‍රහණයේ ප්‍රබල කොටස් කරුවෙකු බවට පත්විය. මීට අමතරව ලසිත් මාලිංග සහ සචිත්‍ර සේනානායක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ TJ ලංකා සමාගමේ මුල් කඩුලු 6ම ලකුණු 83ක් තුල දී බිඳ වැටුනත් සත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු නොබිඳුණු සබඳතාවය කොමර්ෂල් ක්‍රෙඩිට් පිළේ අවසන් තරගයට පිවිසීමේ සිහිනය බොඳකර දැමීය. කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන සිතාර ගිම්හාන් ඇතුළු මුල්පෙළ පිතිකරුවන් ක්‍රීඩාගාරයට හරවා යැවූව ද, ශාලික කරුණානායක සහ චලන ද සිල්වා දවා ගැනීමට ඔවුන්ට නොහැකි වීම ඊට හේතුවයි. එහි දී පන්දුවෙන් ද දස්කම් දැක්වූ චලන ද සිල්වා හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබාගෙන තම කණ්ඩායම ජය ලබන තුරුම ,නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය.

හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 60ක් රැස්කළ ශාලික කරුණානායක අද මෙම තරගයේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්විය. පන්දු 94කට මුහුණ දුන් ශාලික කරුණානායක, සහෝදර පිතිකරු චලන ද සිල්වා සමඟින් සත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණු සබඳතාවය ලකුණු 78කි. මීට අමතරව සචිත්‍ර සේනානායක හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබාගත් ලකුණු 36 ද TJ ලංකා සමාගමේ මෙම සුපිරි ජයග්‍රහණයට දැඩි ලෙස උපකාරී විය. පන්දු යැවීමේ දී ලහිරු මධුශංක, සුරංග සාලින්ද සහ ප්‍රණීත් විජේසේන කඩුලු 2 බැගින් බිඳ දැමූවද එය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණයවත් නොවීය. ඒ ඔවුන්ගේ පිතිකරුවන් තම යුතුකම් කොටස නිසි පරිදි ඉටු නොකළ බැවිනි.

ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව

අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන් නෙරපා සුදුසුකම් ලැබීමේ වටය නම් තටාකයට දමනු ලැබීමෙන් යන්තමින් ගැලවුණු ශ්‍රී ලංකා…

කොමර්ෂල් ක්‍රෙඩිට් – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 45.5): අකීල් ඉන්හම් 38, ජෙහාන් මුබාරක් 32, දිල්හාන් කුරේ 25, චලන ද සිල්වා 3/21, ලසිත් මාලිංග 2/19, සචිත්‍ර සේනානායක 2/36.

TJ ලංකා කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 161 (පන්දුවාර 33): ශාලික කරුණානායක 60*, සචිත්‍ර සේනානායක 36, චලන ද සිල්වා 25*, සුරංග සාලින්ද 2/18, ප්‍රණීත් විජේසේන 2/20, ලහිරු මධුශංක 2/39.

25 වැනි වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 29 වැනිදා LB ෆිනෑන්ස් සමාගම සහ TJ ලංකා සමාගම අතර පැවැත්වෙන අතර එම තරග අසිරිය නිවසේ සිටම සජීවීව විඳ ගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව හිමිව තිබේ. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com, MyTV සහ ඩයලොග් TV නාලිකා අංක 1 මඟින් එම තරගය සජීවීව විකාශය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බැවිනි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<