දැල්පන්දු නෝනලා අද අමාත්‍යාංශයට කැඳවලා

88

ලබන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් 12 දෙනකු සහිත ශ්‍රී ලංකා පිල මේ දිනවල ඉතා උනන්දුවෙන් පුහුණුව ලබමින් සිටින අතරේ මෙම තත්ත්වය නොඉවසන ඕස්ට්‍රේලියානු සංචාරයටද නම් කර ඇති සම්මේලනයේ එක්තරා නිලධාරිනියක් ක්‍රීඩිකාවන් අතර ගොඩනැඟී ඇති සමඟිය පළුදු කිරීමේ උත්සාහයක නිරතව සිටින බව ‘මව්බිම’ට වාර්තා වේ.


ඒ සඳහා ඇය වරින් වර අමාත්‍යාංශයට ගොඩවෙමින් අභූත චෝදනා ඉදිරිපත් කරන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අද (18දා) දැල්පන්දු සම්මේලනයේ නිලධාරි මණ්ඩලය අමාත්‍යාංශයට කැඳවා ඇති බවත් දැනගන්නට ඇත.

නිලධාරි මණ්ඩලයට අමතරව මෙම තැනැත්තිය ක්‍රීඩිකාවන් 12 දෙනා අතර සිටින ක්‍රීඩිකාවකද අමාත්‍යාංශයට රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර සම්මේලනයේ සෙසු නිලධාරිනියන් පවසන්නේ එය ක්‍රීඩිකාවන් තුළ අසමඟිය ඇති කිරීමට හේතුවිය හැකි අනවශ්‍ය ක්‍රියාවක් බවය.
අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකටම අත පොවන මේ තැනැත්තිය දැන්දැල් පන්දු සම්මේලනයට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
මේ අතර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුද්ද හා අත්දැකීම් පිළිබඳ සලකා බැලීමේදී සේමිණි අල්විස් හා ගයනි දිසානායක ජාත්‍යන්තර තරග 50 කට වැඩි සංඛ්‍යාවක අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් වන අතර සේමිණි පළමුවරට ශ්‍රී ලංකා පිල නියෝජනය කර ඇත්තේ 14 හැවිරිදි වියේදීය.

ශ්‍රී ලංකා පිලේ වගතුග
1. සේමිණි අල්විස් (2006 සිට තරග 56)
2. ගයනි දිසානායක (2010 සිට තරග 50)
3. තිසලා අල්ගම (2010 සිට තරග 47)
4. චතුරංගි ජයසූරිය (2010 සිට තරග 32)
5. දර්ශිකා අබේවික්‍රම (2009 සිට තරග 31)
6. දීපිකා අබේකෝන් (2012 සිට තරග 24)
7. සුරේඛා කුමාරි (2011 සිට තරග 18)
8. විරාජි තාමරිකා (2011 සිට තරග 17)
9. තිළිණි වත්තෙගෙදර (2014 සිට තරග 13)
10. හසිතා මෙන්ඩිස් (2011 සිට තරග 12)
11. ගයංජලී අමරවංශ (2013 තරග 06)
12. නිරෝෂා ෆායිවා (නවකයෙකි)