ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව

552

අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන් නෙරපා සුදුසුකම් ලැබීමේ වටය නම් තටාකයට දමනු ලැබීමෙන් යන්තමින් ගැලවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නෞකාව, මේ වන විට පත්ව සිටින්නේ කුණාටුවක් මැද රුවල් බිඳී ගිය තත්ත්වයකටයි.

පාකිස්තානය සමඟ එක්දින තරගාවලියෙන් ද තරග 5-0ක පූර්ණ පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර තුළ එවන් අවමානයකට පත්වූ 3 වන අවස්ථාව මෙයයි. මීට පෙර ක්‍රිකට් ඉතිහාසයේම එක වරක් පමණක් (2014 වසරේ දී ඉන්දියාවට එරෙහිව) තරග 5-0ක් ලෙස එක්දින තරගාවලියක් පරාජය වී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් තවමත් ගමන් කරන්නේ කුණාටුව තුළට මිස ඉන් පිටතට නම් නොවේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එකට එක කරයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, 1-1ක් ලෙස සම කරන්නට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම…

පළමුවෙන්ම දකුණු අප්‍රිකානුවන් හමුවේ තරග 5-0ක් ලෙස එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට මෙරට දී තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත් වින්දේ අගෝස්තු මාසයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අත්වූ ඉරණම නැවත සඳහන් කිරීම අවශ්‍ය නොවේ. සාජා නුවර දී ලද කඩුලු 9ක දැවැන්ත පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා පරාජය වූ 12 වන එක්දින තරගයයි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන දීර්ඝතම පරාජිත තරග ලැයිස්තුව වන අතර 2017 වසරේ සහභාගී වූ එක්දින තරග 26කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබෙන්නේ තරග 4ක් පමණකි.

මෙම එක්දින තරගාවලියට පුරෝගාමීව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය, ශ්‍රී ලංකා කණ්ඩායම නිසි මගට වැටීමේ පෙර ලකුණක් ලෙස සැනසුම් සුසුම් හෙලීමේ ඉසිඹුවක් මෙරට ක්‍රීඩාලෝලීන්ට හිමිවුවත් එය කුණාටුවකට පෙර ඇතිවන අසාමාන්‍ය නිහඬතාවක් පමණක් බවට පත් වන්නට වැඩි කාලයක් ගතවුණේ නැත. ටෙස්ට් විශේෂඥයන් වූ  මිස්බා – උල් – හක් සහ යුනිස් ඛාන් නොමැතිව පළමු ටෙස්ට් අත්දැකීම ලැබූ නැවත ගොඩනැගෙන පාකිස්තානු කණ්ඩායමක් හමුවේ, ක්‍රීඩා දිවියේ සැන්දෑ සමය ගත කරන විශිෂ්ටයෙකුගේ සහය ද ඇතිව අරාබි සංචාරයේ මධුසමය ගෙවා දැමූ ශ්‍රී ලංකා කණ්ඩායමට, ශූරයින්ගේ කුසලාන ශූර පාකිස්තානු කණ්ඩායම සමඟ දිවි ගෙවීම සුන්දර අත්දැකීමක් නොවීය. කණ්ඩායමේ සියලු දුර්වලතා පාකිස්තානුවන් හමුවේ නිරාවරණය වෙද්දී එකඳු තරගයක හෝ සටන්කාමීත්වයක සේයාවක් හෝ දැක ගන්නට හැකි වුණේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දුර්වලතාව ලෙස මෑත කාලීනව ප්‍රදර්ශනය වුණේ පිතිකරණයේ ප්‍රාථමික ස්වභාවයයි. පසුගිය තරග 12 පුරාවටම ශ්‍රී ලංකා පිතිකරණ ඉනිමක් ලකුණු 240 සීමාව ඉක්මවා නැත. මේ ගැටලුවට මෙම තරගාවලිය තුළ දී හෝ විසඳුමක් සොයා ගනු ඇති බවට මෙරට ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වුවද, සිදු වූයේ නැවත වරක් කඩාවැටුණු පිතිකරණය, ලැජ්ජා සහගත පරාජයකට මග විවර කිරීම පමණි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක්වුණේ විශේෂඥ පිතිකරුවන් හය දෙනෙකු පමණක් සමඟයි. ඊට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද ඇතුලත් විය. අංක 6 පිතිකරණ ස්ථානය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව විශ්වාසය තැබුවේ මිලින්ද සිරිවර්ධන වෙතයි. පළමු පෙළ එක්දින තරග 150ක් පමණ ක්‍රීඩා කර ඇති නමුත් එකඳු ශතකයක් හෝ වාර්තා කර නොමැති, අර්ධ ශතක 13කට පමණක් හිමිකම් කියන ක්‍රීඩකයෙක්, ජාත්‍යන්තර එක්දින තරගයක අංක 6 පිතිකරණ ස්ථානයේ හිමිකරු කිරීම නොදන්නා අශ්වයෙකුට ඔට්ටු තැබීමක් බඳු විය. තරග 5ක් අවසානයේ මිලින්දගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වය ලකුණු 23ක් සහ ප්‍රතිවාදීන්ට කිසිදු උපද්‍රවයක් නොවූ වමත් දඟපන්දු වාර කිහිපයක් පමණි.

මෙම මහා ගැටලුවේ සිරිවර්ධන පරිච්ඡේදය අයිස් කන්දේ ඇසට පෙනෙන කොටස පමණි. මුහුදු ජලයෙන් වැසී ඇති අයිස් කන්දේ විශාලතම කොටස වන්නේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ 209 කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමකට අභියෝග කළ හැකි ඉලක්කමක් නොවීමයි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලකුණු 50 ඉක්මවූ සබඳතාවක් ගොඩනගන්නට සමත් වුනේ එක් තරගයක දී පමණි. එමගින් සිදු වූයේ මැද පෙළ පිතිකරුවන් ප්‍රබල වේගපන්දු බල ඇණියකට අනාවරණ වීමයි. ඉන් පසුව දඟපන්දු යවන්නන්ගේ ග්‍රහණයට හසුවන ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගාවලිය පුරාම පිළිතුරක් සොයා ගැනීමට හැකි වූයේ නැත. මුල්පෙළ පිතිකරුවන් 6 දෙනා අතුරින් තරගාවලිය පුරාවටම ලකුණු 75 සීමාව ඉක්මවීමට හැකිවුණේ දෙදෙනෙකුට පමණි.

බිඳ වැටීම්, කලකිරීම් මැද ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවටම අතිශය අසාර්ථක වීම නිසාත්, කණ්ඩායම තේරීමේ දී සිදු වූ අඩුපාඩු සහ දුර්වලතාවයන් නිසාත් පාකිස්තානය…

මෙම තරගාවලිය තුළ අවධානයට ලක් වූ තවත් කරුණක් වන්නේ උපුල් තරංගගේ නායකත්වයයි. සනත් ජයසූරිය විසින් තම හිටපු ආරම්භක පිතිකරණ සගයා සීමිත පන්දුවාර නායකත්වයට පත් කිරීම, ක්‍රිකට් කරළියේ බොහෝ දෙනෙකු පුදුම කළ තීරණයක් වුණේ තරංග ස්වභාවයෙන්ම නායකත්ව ගුණාංග එතරම් පෙන්නුම් කළ ක්‍රීඩකයෙකු නොවීම හේතුවෙනුයි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දුන් 5-0 තරගාවලි පරාජයන් 3ම තරංග යටතේ වාර්තා වූ අතර, ඔහු දෙවරක් අඩු පන්දු වාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් තරග තහනම්වලට ද ලක්විය. ලබන ජුනි මාසයට පෙර තවත් එවන් වරදක් සිදු කළහොත් තරංග හට දීර්ඝ තරග තහනමක් ලැබීමේ අවදානමක් ද පවතියි. පසුගිය සඳුදා (23) තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් නැති බවට තරංග පැවසුවත්, ඔහු තවදුරටත් නායකයකු ලෙස දැක ගත හැකි වනු ඇති දැයි දැන ගැනීමට කාලයට ඉඩ දී බලා සිටීමට බලා සිටීමට සිදු වනු ඇති. මන්ද අවසන් පන්දුවාර 20 තරගය සඳහා ලාහෝර් නුවරට යාම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තරංග කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ ආකල්ප වෙන වීමකට උත්ප්‍රේරකයක් නොවිය නොහැකි බැවිනි.

පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සමඟ තිබූ දීගය අතර මග කඩාකප්පල් කර ගැනීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගත් නුව’ණැති තීරණයක් නොවේ. පසුගිය ජුනි මාසයේ දී මේ දකුණු අප්‍රිකානු ජාතිකයා ශ්‍රී ලංකාව හැර ගියේ දරුණු කඩා වැටීමක ආරම්භය සනිටුහන් කරමිනි. ඉන් මසක් ගත වෙද්දී  ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරගාවලි පරාජයක් අත් විඳින්නට ද සිදු විය.

“මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ” – උපුල් තරංග

2017 වසරට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ ඔවුන් තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දී තිබුණේ…

මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සැකැස්ම පිළිබඳව ද ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් එල්ල වන්නේ යහපත් ප්‍රතිචාර නොවේ. හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායම් පහක් පමණක් සහභාගී වන අන්තර් පළාත් තරගාවලියකට නැවත යා යුතු බව පුන පුනා පෙන්වා දෙයි. කණ්ඩායම් 14ක පළමු පෙළ තරගාවලිය අතිශයින් අඩු තරගකාරීත්වයක් පෙන්නුම් කරද්දී ක්‍රිකට් බලධාරීන් පසුගිය වසරේ පියවර ගත්තේ තවත් කණ්ඩායම් 10කට පළමු පෙළ තත්ත්වය ප්‍රදානය කරමින් මේ තරගාවලිය තවත් දියාරු කිරීමයි. මෙම තීරණයේ අරමුණ ලෙස පෙනෙන එකම කරුණ වන්නේ ජාතික කණ්ඩායම තවත් වල පල්ලට යවා හෝ,  ක්‍රීඩා සමාජ බලධාරීන් පිනවා එළඹෙන ක්‍රිකට් නිලවරණයක දී, තමන්ගේ ඡන්ද මඩිය තර කර ගැනීම පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නෞකාවේ බිඳී ගිය රුවල් මෙන්ම ජලය කාන්දු වන සිදුරු ද බොහෝ නමුත්, ගොඩබිමක් නම් පෙනෙන තෙක් මානයක නැත.

පරිවර්තනය කරන ලද ලිපියකි: Sri Lanka stuck in a vortex of difficulties

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න