ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි

ICC Men's T20 Cricket World Cup 2024

94
ICC Men's T20 Cricket World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වනිඳු හසරංග හට හිමි වී ඇති අතර, උප නායකත්වය චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරු තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ජනිත් ලියනගේ සහ භානුක රාජපක්ෂ සංචිතයේ මුල් ක්‍රීඩකයින් 15 දෙනා අතරට නම් කර නැහැ. නමුත් ඔවුන් දෙදෙනා ම අතිරේක ක්‍රීඩකයින් ලෙස තරගාවලියට සම්බන්ධ වනු ඇති. එමෙන්ම දඟපන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ද අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

මේ අතර ආබාධයක් නිසා IPL තරගාවලියේ අතරමැද දී ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වූ මතීෂ පතිරණ සංචිතයට ඇතුළත් කර ඇති අතර, දුනිත් වෙල්ලාලගේ හට ද සංචිතයේ දොරගුළු විවර වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය:

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක

අතිරේක: භානුක රාජපක්ෂ, අසිත ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ විජයකාන්ත් වියස්කාන්ත්

බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකානු එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය එළඹෙන ජුනි මස 01 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ජුනි මස 03 වැනි දා දකුණු අප්‍රිකාව සමඟින් සිය පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<