දකුණු කොරියාවේ ප්‍රහාරය මැද ශ්‍රී ලංකාව තේරීම් තරගාවලිය අවසන් කරයි

216

2022 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලිය හා 2023 AFC ආසියානු කුසලානය සඳහා වන තේරීම් තරගාවලියේ අද (09) පැවති ශ්‍රී ලංකා – දකුණු කොරියා තරගයෙන් ගෝල 5-0ක ජයක් ලබා ගන්නට දකුණු කොරියානු කණ්ඩායම සමත් වුනා.

තරගාවලියේ මෙතෙක් පැවති කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර තරග 3ක් ජය ගත් දකුණු කොරියාව H කාණ්ඩයේ පෙරමුණ ලබා සිටියා.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ පසු වූ අතර දකුණු කොරියාව පසු වූයේ 39 වැනි තැනයි. දෙපිල අතර මීට පෙර පැවති තරගයෙන් ගෝල 8-0ක් ලෙස ප්‍රබල ජයක් ලබා ගන්නට දකුණු කොරියාව සමත්ව තිබුණා.

නමුත් ලෙබනනය සමඟ පැවති තරගයේ දැක්වූ දස්කම් තුළින් ලබා ගත් පන්නරය නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගයට පිවිසියේ ප්‍රබල කොරියානු කණ්ඩායමට හොඳ සටනක් ලබා දීමේ අරමුණින්.

තරගය ආරම්භයේ සිටම කොරියානු කණ්ඩායමෙන් ප්‍රබල තර්ජනයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එල්ල වූ නිසාවෙන් ආරම්භයේ සිටම තරමක ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුනා.

නමුත් ඉතා හොඳ පන්දු පාලනයක් සහ යොමු කිරීමක් පෙන්නුම් කරමින් දකුණු කොරියානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ නමුත් ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් ඉතා සාර්ථකව වැළැක්වීමට නායක සුජාන් පෙරේරාට හැකි වුනා.

සුජාන් තරමක ආබාධ තත්වයක් සමඟින් ක්‍රීඩා කිරීම නිසා සිය සුපුරුදු රිද්මයට පැමිණීමට අපහසුබවක් පෙන්නුම් කළා.

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී දිගු පන්දු යොමු කිරීමක් මගින් දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් සුජාන් පෙරේරා පසුකර ගෝලය වෙත එල්ල කරමින් පළමු ගෝලය රැස් කිරීමට දකුණු කොරියානු නායක Kim Shinwook සමත් වුනා.

තවත් පාපන්දු පුවත්:

ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන්ගේ තරමක දුර්වල ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ගත් දකුණු කොරියානුවන් දිගු පන්දු යොමුකිරීම් ඔස්සේ පන්දුව ගෝලය අසලට ගෙන ඒමට උත්සහ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 21 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කිරීමට දකුණු කොරියානු ක්‍රීඩකයන් සමත් වුනා.

පැති සීමාව අසල සිට දඬුවම් රාමුව වෙත යොමු කළ පන්දුවක් වේගවත් පහරකින් ගෝලයට යොමු කිරීමට දකුණු කොරියානු ක්‍රීඩක Lee Donggyeong සමත් වුනේ සුජාන් පෙරේරාට කිසිවක් කරගැනීමට කාලයක් ඉතුරු නොකරමින්.

දකුණු කොරියානු ක්‍රීඩකයන් අනුගමනය කරමින් දිගු පන්දු පිරිනැමීම් ඔස්සේ ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද උත්සහ කළ නමුත් අත්දැකීමෙන් සහ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කොරියානු ක්‍රීඩකයන් හමුවේ එය සාර්ථකව කරගැනීමට හැකි වුනේ නැහැ.

පළමු අර්ධය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කහ කාඩ්පත් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළ අතර තරගයේ 41 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩක චලන චමීර දඬුවම් රාමුව තුළ සිදු කළ වරදක් නිසාවෙන් දඬුවම් පහරක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කළා.

ඒ අනුව ලද දඬුවම් පහර සාර්ථකව ගෝලය වෙත එල්ල කිරීමට දකුණු කොරියානු නායක Kim Shinwook සමත් වුනා. පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 03 දකුණු කොරියාව 

පළමු අර්ධයේදී ලබා ගත් ආධිපත්‍ය එලෙසම රඳවා ගත් දකුණු කොරියානු ක්‍රීඩකයන් තරගයේ 52 වැනි මිනිත්තුවේ දී සිව්වැනි ගෝලයත් වාර්තා කිරීමට සමත් වුනා. සුජාන් පෙරේරා වැළැක්වූ පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට නැවත ගෝලය වෙත එල්ල කරමින් එම ගෝලය වාර්තා කළේ Hwang Heechang විසිනුයි.

තරගයේ 56 වැනි මිනිත්තුවේ දී කොරියානු ක්‍රීඩකයෙකු එල්ල කළ පන්දුවක් අතෙහි වැදීම නිසාවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක අසිකූර් රහමාන් හට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කිරීම නිසා ක්‍රීඩකයන් දසදෙනෙකුගෙන් ඉතිරි කාලය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුනා.

එම ක්‍රීඩක අහිමි වීමෙන් පසු දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් පෙන්නුම් කළ නමුත් තරගයේ 77 වැනි මිනිත්තුවේ දී Donggyeong විසින් ගෝලයට එල්ල කළ පහරක් ගෝල රාමුවට යොමු කිරීමට Jeong Sangbin සමත් වුනේ සිය කණ්ඩායමට තරගයේ පස්වැනි ගෝලයත් ලබා දෙමින්.

තරගයේ 83 වැනි මිනිත්තුවේ දී තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව ගෝලය අසලටම රැගෙන ඒමට සමත් වූ නමුත් එය සාර්ථකව වැළැක්වීමට කොරියානු පසුපෙළ ක්‍රීඩකයන් සමත් වුනා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසමත් වීම නිසාවෙන් ගෝල 5-0ක් ලෙස පහසු ජයක් දකුණු කොරියානුවන්ට හිමි වුනා. 

ඒ අනුව 2022 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලිය හා 2023 AFC ආසියානු කුසලාන තේරීම් තරගාවලියේ සහභාගී වූ තරග සියල්ල පරාජ වෙමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුනා. 

අවසන් ලකුණු තත්වය:  ශ්‍රී ලංකාව 00 – 05 දකුණු කොරියාව 

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • දකුණු කොරියාව – Kim Shinwook (14’&41’), Lee Donggyeong 21’, Hwang Heechang 52’, Jeong Sangbin 77’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<