උතුරු කොරියාව FIFA ලෝක කුසලානයෙන් ඉවතට?

348

උතුරු කොරියානු පාපන්දු කණ්ඩායම 2022 FIFA ලෝක කුසලානය හා 2023 AFC ආසියානු කුසලානය සඳහා වන ආසියානු තේරීම් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ආසියානු පාපන්දු සම්මේලනය අද (16) මේ පිළිබඳ නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය දැනුවත් කර තිබුණා.

උතුරු කොරියාව ඉවත් වීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේ වෙතත් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ COVID-19 වසංගත අවදානම නිසා ඔවුන් මේ තීරණය ගෙන ඇති බවයි.

COVID වසංගතය නිසා ආසියානු තේරීම් තරග 2019 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පසුව ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කළේ කණ්ඩායම් සංචාරයේ  යෙදීම අවම කිරීමට දෙවන වටයේ සියලු තරග එක් ස්ථානයක් මූලික කර ගනිමින් පැවැත්වීමටයි.

තවත් පාපන්දු පුවත්:

දෙවන වටයේ තවත් තරග තුනක් ඉතිරිව තිබිය දී උතුරු කොරියාව H කාණ්ඩයේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටියා. ඒ ලෙබනන් හා දකුණු කොරියාව සමඟ සම ප්‍රසාද ලකුණු ලබා ගනිමිනුයි. කාණ්ඩයේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ටර්ක්මේනිස්තානයයි. කාණ්ඩයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට පමණක් තුන්වැනි වටයට පිවිසීමට අවස්ථාව හිමි වෙනවා. 

ශ්‍රී ලංකාව ද H කාණ්ඩයේ තරග වදින අතර සහභාගී වූ තරග පහම පරාජය වූ ඔවුන් මේ වන සිට සිටින්නේ අවසන් ස්ථානයේ වීම විශේෂත්වයක්.

ආසියානු පාපන්දු සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව උතුරු කොරියාව තේරීම් තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ H කාණ්ඩයේ කණ්ඩායම්වල නව ස්ථාන හා ඉදිරි තරග සැලැස්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) උපදෙස් අනුව තීරණය කිරීමට නියමිතයි.

උතුරු කොරියාවේ මේ තීරණය නිසා ඔවුන්ට චීනයේ පැවැත්වෙන 2023 ආසියානු කුසලානය මෙන්ම 2022 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වෙනවා.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<