ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයෙන් ප්‍රබල වේගපන්දු බලඇණියක්

227

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී බංග්ලාදේශය වේගපන්දු යවන්නන් තිදෙනෙකු යොදාගනිමින් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇති බව එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු Ottis Gibson පවසා සිටියි.

මීට අමතරව එරට තේරීම් කමිටු ප්‍රධානීන් අතරින් කෙනෙකු වන Minhajul Abedin ද ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන ටෙස්ට් තරග 3කින් සමන්විත තරගාවලිය පුරාවට වේගපන්දු යවන්නන් තිදෙනෙකු යොදාගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව අදහස් දක්වා සිටින්නට වූ අතර Abu Jayed සහ Ebadat Hossain දෙදෙනා වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායම තුළ සිය ස්ථාපිත කරගෙන සිටිද්දී, Al-Amin Hossain සහ Rubel Hossainව ද මීට පෙර ඉන්දියාවට එරෙහිව Eden Gardens  ක්‍රීඩාංගණයේ දී මෙන්ම පාකිස්තානයට එරෙහිව Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරග සඳහා වේගපන්දු යවන්නන් ලෙස ඔවුන් කණ්ඩායමට එක්කරගනු ලැබීය.

“තණතිල්ලේ තත්වය අනුව වේගපන්දු යවන්නන් 3 දෙනෙක් ක්‍රීඩා කරවන්න පුළුවන් තත්වයක් තිබුණොත් ඒක එහෙම වෙයි. මම දන්නේ නැහැ අපිට වේගපන්දු යවන්නන් 3 දෙනෙක් ක්‍රීඩා කරන්න පුළුවන් ද කියලා. ඒත් මම හිතනවා අපිට මේ සංචාරයට වේගපන්දු යවන්නන් 3 දෙනෙක්ට වඩා අරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා නම්. ඒත් ඒ අදාළ තරගයේ දී ක්‍රීඩා කරන්න තියෙන පිටියේ සහ තණතිල්ලේ තත්වය දකින කම් අපිට හරියට කියන්න සහ තීරණය කරන්න බැහැ ඒ තරගයට අපි ක්‍රීඩා කරවන්නේ කවුද කියන එක,” ඒ පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් Gibson පැවසීය.

ඒ අනුව තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගැනීමට නියමිතව සිටින වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Saifuddin හට හෝ Mustafizur Rahman හට කණ්ඩායම තුළ අවස්ථාවක් ලබාදීමට කණ්ඩායම් කළමනාකාරිත්වය බලාපොරොත්තුවෙන් පසුවනු ඇති නමුත් එහි දී Mustafizur පිළිබඳ තීරණය බොහෝදුරට ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය මත රඳා පවතිනු ඇත.

COVID-19 වසංගත තත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් වෙනත් රටවල් සිය ජාතික ක්‍රීඩා සංචිතවලට සුපුරුදු ක්‍රීඩක සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව අදහස් දක්වමින් වේගපන්දු පන්දු යවන්නන් වැඩියෙන් ඇතුළත් වන පරිදි ක්‍රීඩක සංඛ්‍යාවෙන් වැඩි සංචිතයක් තෝරාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව Gibson ද මෙහි දී ප්‍රකාශ කර සිටින්නට විය.

“ක්‍රිකට් ක්‍රීඩාව ඒ විදිහට ක්‍රීඩක සංඛ්‍යාවෙන් වැඩි විශාල සංචිත එක්ක යන විදිහට, විශේෂයෙන් එංගලන්ත සංචාරයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිදු කළා වගේ අපිටත්’ එහෙම ක්‍රීඩකයින් 20 දෙනෙක් අතරින් කණ්ඩායම තෝරගන්න ලැබුණොත් ඒ හරහා අපිට විකල්පයන් ගොඩක් ලැබෙනවා. 

ඉතින් මම හිතන්නේ නැහැ අපි ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයක් තෝරගන්න ඕනේ කියලා. සංචිතය තුළ ඉන්නේ ක්‍රීඩකයෝ 20 නම් මම විශ්වාස කරන විදිහට කණ්ඩායම තෝරද්දී ඒ 20 දෙනාම සැලකිල්ලට ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. මොකද තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනාගේ සංචිතය තෝරගනිද්දී ඒකෙන් ලොකු පරාසයක් තුළින් අපිට ඒ තීරණය ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ සංචාරයට ක්‍රීඩකයින් 20 දෙනෙකුගේ සංචිතයක් තෝරාගන්නවා වගේම අපි කී දෙනෙක් ශ්‍රී ලංකාවට රැගෙන ගියත් ඒ ක්‍රීඩකයින් 20 දෙනාගේ සංචිතය තුළ අඩුම තරමේ වේගපන්දු යවන්නන් 5 දෙනෙක් වත් ඉන්න ඕනේ.”

COVID-19 වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරාවට තරග මෙන්ම පුහුණුවීම් කටයුතු ද පැවැත්වීමට නොහැකි වීමත් සමඟ වේගපන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතු අතර ඒ අනුව මෙහිදී Gibson වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන බවයි.

එම COVID-19 විවේක කාලය තුළ බංග්ලාදේශයේ පිතිකරුවන් හට ඔවුන්ගේ පෞද්ගලික පුහුණු සැසිවල දී පිතිකරණ පුහුණුවීම් වල නියැලීමට අවස්ථාවක් ලැබුනත්, ඔවුන්ගේ වේගපන්දු යවන්නන් හට එවන් අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අනුව එහි දී වේගපන්දු යවන්නන් හට නියම කර තිබුණේ කෙටි වාරයන් තුළ පන්දු යැවීමට යි. කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන චිකිත්සක Debashish Chowdhury පවසා සිටින්නේ වේගපන්දු යවන්නන් හට කෙමෙන් කෙමෙන් නැවතත් තරග වලට අවශ්‍ය කායික යෝග්‍යතාවයට පැමිණීමට සහය වන වැඩපිළිවෙළක් ඔවුන් විසින් සකස් කර ඇති බවයි.

“වේගපන්දු යවන්නන් හට අපි කියලා තියෙන්නේ කෙටි run-up එකක් එක්ක පන්දුවාර 4ක් හෝ 5ක් යවන්න කියලා. මොකද අපි මෙහි දී අනුගමනය කරන්නේ නැවතත් ඔවුන්ව ක්‍රීඩා කිරීමේ ක්‍රියාවලියට ගැනීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක්. මෙතැන දී නීතියක් තියෙනවා ඔවුන් සතියට දින 4ක් පන්දු යැවීමේ නිරත වෙන අතරතුර එක දිගට ඒකේ නිරත වෙන්න පුළුවන් කාලය උපරිම දින 2යි. එකට කියන්නේ 4-2-7 නීතිය කියලා. ඉතින් ඔවුන් ඒක අනුගමනය කරයි,” ඔහු පැවසීය.

තවත් කියවන්න;

මෙහි දී අවසාන වශයෙන් අදහස් දක්වමින් Gibson පවසා සිටියේ;

“ඔබ දන්නවා ක්‍රීඩකයෝ හැමෝම පුහුණුවීම් තිබුණේ නැතත් පහුගිය කාලේ පුරාවට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමක තියාගන්න ඕනේ ව්‍යායාම් කටයුතු සිදු කළා කියලා.

ඒ වගේම මම දන්නවා වේගපන්දු යවන්නන් ඔවුන්ගේ වේගය පවත්වා ගෙන යන්න ඕනේ ඒ අවශ්‍ය ව්‍යායාම් පවා සිදු කළා කියලා. ඉතින් මෙහි දී ලොකු අවධානයක් යොමුකෙරෙනවා කණ්ඩායම් දෙක අතර පළවෙනි ටෙස්ට් තරගයට කලින් ක්‍රීඩකයෝ හැමෝගෙම ශාරීරික යෝග්‍යතාවය පුළුවන් උපරිම තත්වයකට අරගෙන එන්න.

මම දන්නවා ඊට කලින් පුහුණු තරග 3ක් අපි සැලසුම් කරලා තියෙනවා කියලා. ඉතින් මෙතැන දී ගොඩක් වැදගත් වෙනවා සියලු දෙනාම හෝ එළඹෙන තරගාවලියේ දී අනිවාර්යයෙන් ම ක්‍රීඩා කරවනවා කියලා අපි හිතන වැදගත් ම ක්‍රීඩකයින්ව තරගාවලියට කලින් අවශ්‍ය පුහුණුවීම් සිදුකරවලා ඊට සූදානම් කරන එක.”

තරගාවලියට සහභාගී වීම සඳහා බංග්ලාදේශ සංචිතය මෙම සැප්තැම්බර් මස 27 වැනි දින ශ්‍රී ලංකාව බලා පැමිණීමට සැලසුම් කර ඇති අතර දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<