බංග්ලාදේශ පිතිකරණ පුහුණුකරු තනතුරේ වෙනසක්

448
Jon Lewis

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සහභාගී වීමට සැලසුම් කර තිබෙන බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත ක්‍රිකට් තරගාවලිවල දී Jon Lewis මහතා බංග්ලාදේශ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (6) තහවුරු කරන ලදි. වයස අවුරුදු 50ක් වන Jon Lewis මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කරමින් අත්දැකීම් ලබාගෙන තිබේ. මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ Neil McKenzie පසුගිය අගෝස්තු මාසයේ දී පුද්ගලික හේතුවක් නිසාවෙන් සිය ධුරයෙන් ඉවත් විය.

තවත් ක්‍රිකට් පුවත්: 

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි Akram Khan මහතා මේ පත්වීම තහවුරු කරමින් ESPNCricinfo වෙබ් අඩවියට මෙසේ පවසන ලදි.

“අපිට දිගුකාලීන ගිවිසුමකට යන්න බැහැ. මොකද මේ වෙනකොට මුළු ලෝකයේම තිබෙන වසංගත තත්වයක් එක්ක වසරකට හෝ වසර කිහිපයකට ගිවිසුම් ගත වෙන එක තේරුමක් නැහැ. අපි මේ තේරීම කරන්න පෙර පුහුණුකරුවන් රැසකගේ නම් සලකා බැලුවා අන්තිමට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු අනෙක් නිලධාරීන්ගේ ද කැමැත්ත ඇතිව Jon Lewis මහතාව අපේ ඉදිරි තරග සංචාර දෙක වෙනුවෙන් අපේ පිතිකරණ පුහුණුකරු ලෙස තෝරා ගැනීමට අපි තීරණය කළා.”

Jon Lewis එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා නොකළ ද එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ කණ්ඩායම් කිහිපයකටම ක්‍රීඩා කර තිබේ. ඔහු පිතිකරුවෙකු ලෙස පළමු පෙළ තරගවල දී ලකුණු 10,000 සීමාව (10,821) ඉක්මවාලීමට සමත්ව ඇති දක්ෂ පිතිකරුවෙකි. 

1990 වසරේ දී ප්‍රථමයෙන්ම එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමෙන් ප්‍රාන්ත ක්‍රිකට් දිවිය අරඹා ඇති ඔහු ප්‍රාන්ත තරග 205කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 32කට ආසන්න අගයක් (31.92) රඳවා ගෙන තිබේ. සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ ශතක 16ක් සහ අර්ධ ශතක 66ක් වාර්තා කරගෙන ඇති Lewisගේ ඉනිමක වැඩිම ලකුණු ලෙස නොදැවී ලබා ගත් ලකුණු 210 සටහන් වේ.

එංගලන්ත ප්‍රාන්තයක් වන ඩර්හැම් ප්‍රාන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද Lewis පළමු පෙළ දිවියට තිත තියන ලද 2009 වසර වන තෙක්ම ඩර්හැම් දෙවැනි පෙළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. එම කණ්ඩායමේ ක්‍රීඩකයකුට අමතරව නායකයකු සහ පුහුණුකරුවකු වශයෙන් වසර 22ක කාලයක් සේවය ලබා දී තිබේ. 1997 වසරේ දී ඩර්හෑම් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඇරඹූ Lewis 2006 වසරේ විශ්‍රාම යන විට එම ප්‍රාන්තය වෙනුවෙන් ලකුණු 7854ක් රැස් කිරීමට සමත්ව තිබේ. එය ප්‍රාන්ත කණ්ඩායමක් වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කර තිබෙන තෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙන් අදටත් වාර්තා අතර වේ.

2013 වසරේ දී ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්ව ඇති Lewisගේ පුහුණුකාරීත්වය යටතේ, තෙවැනි වතාවටත් ප්‍රාන්ත තරගාවලි කුසලානයක ජයග්‍රහණ අත්කර දීමට සමත්ව තිබේ. ඊට අමතරව 2014 වසරේ පැවති රෝයල් ලන්ඩන් එක්දින ශූරතාව ද දිනා ගැනීම ඔහුගේ පුහුණුකරු දිවියේ වූ කැපී පෙනෙන සිදුවීමකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<